July 23, 2024

දේශපාලන ආධාර මත, නෙළුව ප්‍රාදේශීය ලේකම් විසින් විකල්ප මාර්ගයක් තිබියදී, රක්‍ෂිත වනාන්තරයට හානිකරමින් නිවෙසකට මාර්ගයක් ලබාදීමට ගන්නා උත්සාහයට, ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ ලංකාගම පිවිසුම අවට වෙසෙන ගම්වාසීන් දැඩි විරෝධය පළ කරන බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

ලෝක උරුම වනාන්තරයට මායිම්ව ඇති සංවේදී පාරිසරික ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම සංචාරක හෝටල් හිමියන්ද ඉල්ලා සිටින්නේ, එම මාර්ගය නෙළුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලතල යටතේ, නෙළුව ප්‍රාදේශීය සභාවට අනුබද්ධ දේශපාලන අනුග්‍රහය යටතේ ඉදිකිරීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ බලධාරීන් මැදිහත් වන ලෙසයි.

ඉහත මාර්ගය, ගිං ගඟ රක්‍ෂිතයට සහ හෙරියාව දොළ රක්ෂිතයට අයත් ගිං ගඟ ඉවුර දිගේ පැරණි අඩිපාරක් වන අතර, එම මාර්ගයට සමීප මාර්ගයක් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පැරණි ගස් කපා අඩි 10 ක මාර්ගයක් දක්වා පුළුල් කිරීමට නියමිත බව පැවැසේ.

අදාළ නිවසට මුල් මාර්ගය ලබාදී තිබුණේ වෙනත් පැත්තකින් වන අතර එය නෙළුව – ලංකාගම මාර්ගයට එතරම් සමීප නොවන බවත්, ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් දෙදෙනකු විසින් අනවසරයෙන් ඇතුළු වී නිවෙස් හිමියාට ගිං ගඟ දිගේ ඇති අඩිපාර භාවිත කිරීමට ඉඩහැර ඇති බවත් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට, මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද කරුණු වාර්තා කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගිං ගඟ රක්ෂිතයේ සහ හෙරියාව දොළ රක්ෂිතයේ රක්ෂිත වනාන්තර දෙකට හානිකර ලෙස අඩිපාර මාර්ගයක් දක්වා පුළුල් කිරීමේ උත්සාහය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් නවතා දැමුවත් නෙළුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ මෙම ක්‍රියාදාමය යළි ඇරඹේදැයි ප්‍රදේශවාසීහු සැක පහළ කරති.

මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා නෙළුව ප්‍රාදේශීය ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට ‘ඩේලි මිරර්’ ගත් උත්සාහය සාර්ථකවී නැත.