
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ සිටි සේවාදායිකාවකට ජංගම දුරකතනයක් භාවිත කිරීමට ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි තරුණ නීතිඥවරයකුට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න දැඩි ලෙස අවවාද කොට ඊයේ (20) මුදාහරින ලදි.
අධිකරණ සිරමැදිරියේ සිටි විදෙස් සේවාදායකයා හට වීඩියෝ දුරකතන ඇමතුමක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීහු ඒ පිළිබඳව අතිරේක මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළහ. එහිදී මහේස්ත්‍රාත්වරිය එකී වරද සිදුකළ නීතිඥවරයා හට දැඩිව අවවාද කොට මුදාහැරියාය.
මෙලෙස මුදාහරින ලද්දේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවාදායකයකු වෙනුවෙන් පෙනීසිටි තරුණ නීතිඥවරයෙකි.
මින්මතු එම නඩුවට පෙනීසිටීම සහ එම නඩුව අවස්ථාවේදී අධිකරණයට පැමිණීම ද තහනම් කරමින් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවාය. ශ්‍රී ලංකා ගුවන්තොටුපොළේදී රේගු ඉතිහාසයේ ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් තොගය වන කිලෝ 46යි ග්‍රෑම් 60ක් සමඟ අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක වන 21 හැවිරිදි චාලට් මේ ලී නම් කාන්තාව සැකකරුවකු ලෙස නම් කර ඇති නඩුව ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම සිද්ධිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 තුළදී සිදු විය. නීතිඥවරයා පැමිණ සිරමැදිරියේ සිටි සේවාදායිකාව සමඟ කතාකිරීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇත. ඒ පිළිබඳව අවධානයෙන් සිටි නිලධාරීන්ට දැකගත හැකිව ඇත්තේ එම නීතිඥවරයා ඔහුගේ දුරකතනය ගෙන එය ක්‍රියාත්මක කර කෝට් සාක්කුවේ දමා ගන්නා අයුරු” එම සිරමැදිරිය තුළ සිටින සේවාදායිකාවට ඉතා ළංවී කතාකරන අයුරුත්ය.
ඒ පිළිබඳව සොයා බැලීමේදී දුරකතන ඇමතුමක් ගන්නා බව තහවුරුවිමෙන් බන්ධනාගාර නිලධාරීන් එම දුරකතනය තමන් භාරයට ගෙන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය වෙත එය ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළේය.
එහිදී කරුණු දැක්වූ බන්ධනාගාර නිලධාරිවරයා මෙසේ පැවසීය.
“ගරු මැතිනියනි, මේ නීතිඥවරයා ඒ සිරමැදිරියේ ඉන්න සැකකාර එංගලන්ත ජාතික කාන්තාවට කතා කිරිමට අවශ්‍ය බව පවසා එතැනට ගියා. අපි අවධානයෙන් හිටියේ. දුරකතනය අරන් කෝට් එකේ උඩ සාක්කුවේ දාගෙන යමක් කරන බව වැටහුණා. අපි ක්‍රියාත්මක වෙලා දුරකතනය ගත්තා. ගරු මැතිනියනි, මීට පෙරත් එම සැකකාරිය බලන්න බන්ධනාගාරයට පැමිණි පුද්ගලයකු බොත්තමක් වැනි කැමරාවක් මඟින් වීඩියෝ කරලා බන්ධනාගාරය ගැන වීඩියෝ පටයක් ලොව පුරා බෙදාහැරියා. මේකත් ඒ වගේ මාධ්‍යයට ගියා නං අපේ රස්සාවත් ඉවරයි. ගරු මැතිනියනි මේ පිළිබඳව සුළුවෙන් නොතකා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”
අනතුරුව එකී ජංගම දුරකතනය මහෙස්ත්‍රාත්වරිය වෙතට ඉදිරිපත් කළේය.
එහිදී නිදහසට කරුණු දක්වමින් එකී නීතිඥවරයා සඳහන් කළේ, ඇගේ මව අසනීපයෙන් පසුවන නිසා ඇගේ ඉල්ලීම අනුව ඇමතුමක් ගෙනදුන් බවය.
එය නොදැනුම්වත්ව වූ වරදක් බැවින් සමාව දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
එහිදී ඊට විරුද්ධත්වය පෑ බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පෙන්වාදුන්නේ එම සැකකාරියට දින 14කට වරක් ඇගේ රටට වීඩියෝ ඇමතුම් ලබාගැනීමට කටයුතු සලසා දෙන බවයි. එසේ තිබියදී මේ ආකාරයෙන් හැසිරීම නීතිඥවරයකුට සුදුසු නොවන බව බන්ධනාගාර නිලධාරීහු පවසා සිටියහ.
එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළහොත් තමන්ගේ නීතිඥභාවය අහෝසි විය හැකි බවත්, නීතිඥවරුන්ට අධිකරණය තුළට ජංගම දුරකතනය ගෙන එමට අවසර දී ඇත්තේ රාජකාරි කටයුතුවලට මිසක මෙවැනි විෂමාචාර ක්‍රියාවලට නොවන බවත්ය. මේ පළමු අවස්ථාව බැවින් ඒ සඳහා සමාව දෙන බවත් නමුත් මින් ඉදිරියට මේ නඩුවට පෙනීසිටිම තහනම් කරන බවත්, මෙම නඩුව අධිකරණය තුළ පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට නොපැමිණෙන ලෙසත් නියෝග කරමින් දුරකතනය ලබාදුන්නාය. එහිදී සැකකාර එංගලන්තය ජාතික කාන්තාව තවදුරටත් සැප්තැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය.
මීගමුව බන්ධනාගාරය මඟින් මීගමුව මහේස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එම නියෝගය නිකුත් කළාය. විදේශීය ජාතික සැකකාරියගේ පවුලේ කිසිවකු මෙරටට මෙතෙක් නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවකු නොපැමිණීම විශේෂත්වයකි.
දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි මෙම විදේශීය තරුණිය සිය ගමන්මලු තුළ සඟවා මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගැනුණි. හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මලුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා කිසිවකු එහි තැන්පත් කර ඇති බවත්ය. මේ වන විට ඇය දින 90ක අධික කාලයක් බන්ධනාගාරගතව සිටින්නීය.
ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සඳහන් කළේ ඇය වෙනුවෙන් ඇප අයැදුම්පතක් මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart