
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩක් වැඩ නිමකරන ලද දෙමහල් නිවසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී අවිවාහක උපාධිධාරී තරුණියක් මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ලෙස සේවය කළ නිවිතිගල, ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක නමැති 30 හැවිරිදි තරුණියයි.
මියගිය තරුණිය තවත් තරුණියන් තිදෙනකු සමඟ බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ දෙමහල් නිවසක උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඉකුත් සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40ට පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඇය සමඟ කාමරයේ වෙසෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මිතුරියද රැකියාව නිමවා ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය ඇය අමතා පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා ඇය රැගෙන එන ලද ආහාරයක් පිළියෙල කරන බවය.
ඒ අතරතුර එම මිතුරිය විසින් නාන කාමරයට වැදී ඇඟ සෝදා පිරිසුදු වන අතරවාරයේ දී කෑ ගැසීමක් සමඟ ඇසුණු විශාල ශබ්දයක් සමඟම ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ සෝදිසි කිරීමේ දී මිතුරිය පෙනෙන්නට නොසිටි බැවින් කාමරය තුළද බලා අනතුරුව උඩුමහලේ සිට නිෙවස පිටුපස දොරින් පහත බැලීමේ දී කිසියම් අයකු වැටී සිටිනු දැක බිම් මහලේ පදිංචි නිවෙස් හිමිකරුවන් වෙත පවසා ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව ඔවුන් සමඟ පිටුපසට ගොස් බැලීමේ දී මියගිය කළමනාකාර සහකාරවරිය දෙමහල් නිවෙසේ පළමු මහලේ පිටුපස කොටසේ දමා තිබූ ප්ලාස්ටික් කෑන් මත උඩුබැලි අතට වැටී සිට ඇති අතර ඇයගේ වම් කනින් සහ නහයෙන් රුධිරය වෑහෙන අයුරු දක්නට ලැබුණු බව එම මිතුරිය පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන්ය.
නිවෙස් හිමිකාරියගේ ඥාති පුත්‍රයකු විසින් බරපතළ තුවාල ලද තරුණියව ඒ ආසන්නයේ නිවෙසක් ඉදිරිපිටට රැගෙන ගොස් 1990 සුවසැරිය ගිලන් රථය මඟින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (13) පෙරවරුවේ වාට්ටු අංක 73 හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මියගිය තරුණිය පිරිසිදු කරන ලද ආහාරවල අවශේෂ කොටස් උඩුමහලේ පිටුපස කොටසේ තබා ඇති භාජනයට දැමීම සඳහා යාමේ දී ඇයගේ පය ලිස්සා ගොස් උඩුමහලින් පහළට වැටෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි.
මියගිය තරුණියත් මීට පෙර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර දෙකකට පමණ ඉහත දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ පැවැති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart