April 8, 2026

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.

නවදිල්ලියට පැමිණි ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය.

අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයේ නව රජය පිහිටුවීමෙන් පසු එරටින් ඉන්දියාවට පැමිණි පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ඔහු ය.

“අද නවදිල්ලියට පැමිණි බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් රහ්මාන් මහතාව උණුසුම් ලෙස පිළිගනිමු. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ශක්තිමත් ජනතා සබඳතා මත පදනම් වූ ඓතිහාසික සබඳතාවක් පවතී. මෙම සංචාරය ඉන්දු-බංග්ලාදේශ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇත,” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ‘X’ ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

බංග්ලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් ප්‍රනායි වර්මා ද බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

එහිදී දෙරටේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූලව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ජනතාව කේන්ද්‍ර කරගත් සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් නවදිල්ලිය සහ ඩකා අතර පවතින සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

සිය ඉන්දීය සංචාරය අතරතුර බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සිය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හමුවීමට නියමිතය.

ඔහු ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ද හමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක හුමායුන් කබීර් ද මෙම සංචාරයට එක්ව සිටියි.