June 17, 2025

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට විරෝධතා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එස්.තුරෙයිරාජා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් නීතිපතිවරයා ඒ සඳහා තවදුරටත් කාලය ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විරෝධතා ගොනුකිරීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී අධිකරණය නීතිපතිවරයාට විරෝධතා ගොනුකිරීමට අවසර දුන් අතර, අවශ්‍ය නම් ප්‍රතිවිරෝධතා ගොනුකරන ලෙස පෙත්සම්කරුවන්ට ද නියම කරනු ලැබීය.

ඒ අනුව එම පෙත්සම් දෙක විභාගය සඳහා අධිකරණය අගෝස්තු 4 වැනිදාට නියම කර තිබේ.

ආරක්ෂක සහයෝගීතාව, සාර්ථක ඩිජිටල් විසඳුම් බෙදාගැනීම සහ නැගෙනහිර පළාත සඳහා බහු-ආංශික ප්‍රදාන ආධාර පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු අවබෝධතා ගිවිසුම් හතක් සඳහා අප්‍රේල් 5 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් තබනු ලැබිණි.

දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් මෙම පෙත්සම ගොනුකර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ, මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අන්තර්ජාතික නීතිවලට පටහැනි බවයි.

මෙම අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගතය මගින් ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් කඩකිරීමක් සිදුවන බවත්, ඒ පිළිබඳව රජය මෙතෙක් ජනතාව දැනුවත් කර නොමැති බවද පෙත්සම්කරුවෝ පවසති.

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අඩපණ වන බවත්, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් කිරීමට රජය ගත් තීරණය නීතිවිරෝධී බවත් පෙත්සම්කරුවෝ පවසති.

ඒ හරහා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙසත්, එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.