
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්” යන ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසකින් රසිකයන් පින වූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ පෙරේදා (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 60 හැවිරිදි වියේ පසු වූ ඒ ඔහු දියණිවරුන් දෙදෙනකුගේ හා එක් පුතකුගේ ආදරණීය පියාණන් ද වේ.
‘කර බඳින රත්තරං’, ‘සුසුම වී මගේ’, ‘හිම මීදුම් වලාකුළේ’, ‘මුතු කඳුළින්’, ‘පෙම් ලොව දුක්ගිනි’, ‘සුරඟනක් කඳුළු සලා’, ‘සුසුමන් පාවී’, ‘පාවී සිතුවිලි’, ‘සිත මා හඬ හඬා’, ‘සුරදූතියෝ’, ‘නිල් නුවන් පියවිලා’, ‘පාරදීසයේ ඈ හා යාවෙලා’, ‘ආදරේ සුවේ නෑ ලබාලා’, ‘අවන්හලේ මා’, ‘කඳුළක් දෙවන්නද’, ‘කෝකිල වසන්තේ’ ඇතුළු තවත් ගීත රැසක් ඔහු ගායනා කර ඇති අතර එම ගීත 90 දශකයේ රසික ජනතාව අතරේ අතිශයින් ජනප්‍රිය විය.
1992 වසරේදී ඔහු මුල්ම කැසට් පටය වන ‘මුතු කඳුළු සලා’ කැසට් පටය ද, ඉන් අනතුරුව ‘කෝකිල වසන්තේ’ කැසට් පටය ද එළිදක්වනු ලැබූ අතර එම කැසට්පට එදා ශ්‍රාවකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්විය.
අතුල ශ්‍රී ගමගේ ප්‍රවීණ ගායන ශිල්පියා පෙරේදා කඩුවෙල කොතලාවල නිවසේ සිටියදී හදිසි රෝගී තත්ත්වයක් මත පෙරේදා සවස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මියගොස් ඇත.
සිය කළයාණ මිතුරාගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් වී සිටින ප්‍රවීණ ගායන ශිල්පී කුමාරසිරි පතිරණ මෙසේ පවසා තිබේ.
“මාත් එක්ක අවුරුදු 15ක් එකට හිටපු යාළුවා. අතුලට මොකක්ද වුණේ කියලා හිතාගන්න බැහැ. මෙයා හැමදාම මට කෝල් කරනවා. දුක සැප අහනවා. ඒත් ඊයේ උදේ එයා කෝල් කළේ නැහැ. හවස කෝල් එක ආවා. එයාගේ හෑන්ඩ්ෆෝන් නම්බර් එක දැක්ක ගමන් මම සතුටු වුණා. ඒකට ආන්සර් කරනකොට කතා කළේ අතුලගේ පුතා. පුතා කියපු දෙයින් මම දැඩි කම්පනයට පත්වුණා. මේක හීනයක් වගේ.
තව දින කීපයකින් අපි දෙන්නට කලාභූෂණ සම්මාන ලැබෙන්නත් තිබුණා. ඒ ගැනත් අපි කතා කළා. එහෙම තියෙද්දී අතුල අපිව දාලා ගියා. හරිම අහිංසක, මනුස්සකම පිරුණු කෙනෙක් තමයි අතුල කියන්නෙ. පුදුම විදිහට කොලිටීස් තියෙන රත්තරං මනුස්සයෙක්.”
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඊයේ (07) සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මරණයට හේතුව සොයාගත නොහැකිවීම නිසා විවෘත තීන්දුවක් නිකුත් කළ බව මහරගම හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු ඩග්ලස් රූපසිරි පවසා ඇත.
ඔහුගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට එහි සාම්පල් ලබාගෙන ඇතැයි ද සාම විනිසුරුවරයා පවසා තිබේ.
අතුල ශ්‍රී ගමගේ ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී චමාලි අබේසේකර සිදුකර ඇත.
අභාවප්‍රාප්ත අතුල ශ්‍රී ගමගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) සවස 3.00ට මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart