February 7, 2024

කොළඹ නගර සභාව විසින් සොහොනක (වර්ග අඩි 02ක) ගාස්තුව රුපියල් 180,000 දක්වා වැඩි කර ඇති හෙයින් කොළඹ නගරවාසීන්ට මරණය මිල අධික කටයුත්තක් බවට පත්ව ඇත.

කෙනෙකුට ලබාගත හැකි වන්නේ අඩි දෙකයි දෙකේ කුඩා බිම් කොටසක් පමණක්වන අතර, එහි මිහිදන් කළ හැකි වන්නේද මියගිය අයකුගේ අළු පමණක් බව නම සඳහන් කිරීමට අකමැති කොළඹ නගර සභාවේ හිටපු සාමාජිකයෙක් ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.

කෙසේවෙතත්, 2018 වසරේදී මිනීවළක් සඳහා අයකිරීම් වැඩිකිරීමට නියමිතව තිබූ නමුත් එම වසරේ කවුන්සිලයේ දී මෙම යෝජනාව සභාවේ සාමාජිකයන් විසින් පරාජයට පත් කළ බව ඔහු පවසයි.

එමෙන්ම ඉඩම් වටිනාකම වැඩිවීමට සමගාමීව ගාස්තු වැඩිකර ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර, කොළඹ නගර සීමාව තුළ ආදාහනාගාර ගාස්තුව කොළඹ නගරවාසීන්ට රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වාද පිටස්තරයන් සඳහා රුපියල් 20,000 දක්වා ඉහළ නංවා ඇති බව කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී ඇල්ෆ්‍රඩ් සම්පත් ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙන බවත්, ජනාධිපතිවරයා එම ගැටලුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකට යොමු කළ බවත්, ඔහු පවසයි.

කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී ෂර්මිලා ගෝනවල ද පවසා ඇත්තේ, ආදාහනාගාර සහ සොහොන් ගෙවල් ගාස්තු විශාල ලෙස ඉහළ දමා ඇති බවයි.

කොළඹ නගර සභාව අය කරන නව මුදල් මිනිසුන්ට දැරිය නොහැකි බව ද ඇය පවසයි.