March 3, 2024

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන්නේ විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණිනි.

ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ ඒ සඳහා වන අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලුම තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව තිබේ.

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් මාර්තු මස 20 වැනි දිනට ප්‍රථම අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි.

මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා දිවයිනේ සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය අනුව එක් එක් පාසලින් සුදුසුකම්ලත් සිසු දරුවන් තෝරාගැනීම කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කෙරෙනු ඇති.

මෙම කමිටු මඟින් චක්‍රලේඛයෙහි සඳහන් සියලුම නිර්ණායක සහ විධිවිධාන සැළකිල්ලට ගනිමින් සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සිදු කළ යුතු අතර මෙම ක්‍රියාවලියේදී කමිටු සාමාජිකයන් පූර්ණ විශ්වසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජනාධිපති අරමුදල අපේක්ෂා කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

තවද මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ කිසිඳු අයදුම්පතක් ඍජුවම ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපති අරමුදල අවධාරණය කර තිබේ.

පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිතව ඇත.

මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැළසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් ජනාධිපතිපතිවරයාගේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.