June 21, 2025

යුනෙස්කෝව විසින් නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශයක් වන සිංහරාජ රක්ෂිතය හරහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී සිදු කරන ලද මතභේදාත්මක මාර්ග පුළුල් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (20) අවසර ලබා දුන්නේය.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් තර්ක කරන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම යටතේ අඩි 8ක් පළල පටු මාර්ගයක් නීති විරෝධී ලෙස අඩි 15 දක්වා පුළුල් කරන බවත්, එමඟින් කලාපයේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සහචරයන් සම්බන්ධ බව කියන සංචාරක හෝටල් සහ ලැගුම්හල් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවත්ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණයට කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් මාර්ගයේ දෙපස සියවස් ගණනාවක් පැරණි, පාරිසරික වශයෙන් වටිනා ගස් විනාශ කිරීම ඇතුළු බරපතළ පාරිසරික හානියක් දැනටමත් සිදුවී ඇති බවයි.

එවැනි ක්‍රියාමාර්ග මුල් පාරිසරික හෝ ශක්‍යතා තක්සේරුවල කොටසක් නොවන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණය වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් අතර වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, හිටපු අමාත්‍යවරුන් වන සී.බී. රත්නායක (වනජීවී හා වන සංරක්ෂණ), මහින්ද අමරවීර (පරිසර) සහ චමල් රාජපක්ෂ (මාර්ග සංවර්ධන) මෙන්ම නීතිපතිවරයා ද ඇතුළත් වේ.

2020 අගෝස්තු මාසයේදී ඉදිකිරීම් ක්‍රියාවලියේදී බැකෝ යන්ත්‍ර වැනි බර යන්ත්‍රෝපකරණ භාවිත කළ බවත්, එමඟින් වනාන්තරයේ ජෛව විවිධත්වයට සහ ජානමය සම්පත්වලට සැළකිව යුතු හානියක් සිදු වූ බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

එවැනි පුළුල් කිරීමක් අනුමත කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට නීතිමය බලයක් නොමැති බවත්, සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් ඔවුහු තර්ක කරති.

2021 මාර්තු මාසයේදී මුලින් ගොනු කරන ලද පෙත්සම,සඳහා නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නයෝමි කහවිටගේ නායකත්වයෙන් යුත් පිරිසක් විසින් වගඋත්තරකරුවන්ට නීතිමය නියෝජනයක් දී තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, නීතිඥ සමන්ති පොන්නම්පෙරුම සහ මාතාෂා ජයසිංහ පෙනී සිටියහ.