July 20, 2023

කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 200ක් පමණ ලැබී ඇතැයි වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ නීති සම්මත කර ගැනීමෙන් පසුව මේ වසර අවසන් වීමට පෙර රක්ෂිත කලාපවල නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ බවයි.

ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීමටත් ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින නීති පද්ධතිය සංශෝධනය කර ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් ආයෝජනය කිරීමට හැකි පසුබිමක් සකස් කළ යුතු බව අමාත්‍ය දිලුම් අමුණුගම පෙන්වා දුන්නේය.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බැලීමට අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධානීන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේ පළමු කාර්තුව තුළ මෙරටට ලැබී ඇති ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක් බවද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.