May 18, 2026

2016 දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා එල්ල වන විරෝධතාවයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ තවත් පස්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි ජූලි 13 වැනි දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේ නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනීසිටියේ නැත.

2016 පෙබරවාරි 6 වැනි දින එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන්ගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව විත්තිකරුවන් කොළඹ, තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ බවත්, එමඟින් මාර්ග අවහිර කර මහජන අපහසුතාවට පත්කළ බවටත් චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් නඩුව ගොනුකර තිබේ.