September 5, 2025

2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුන් 303,670 දෙනකු අතරින් සිසුන් 51,969ක් ශිෂ්‍යත්වය සමත් කඩඉම් ලකුණු ඉක්මවා ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ ඊයේ (04දා) පැවසුවාය. අභියාචනා කළ හැකි දිනය කඩිනමින් දැනුම්දෙන බවද විභාගය පවත්වා දින 24කින් ප්‍රතිඵල ලබාදුන් බවද ඇය කීවාය.

කඩඉම් ලකුණු ලබාගත් සිසුන් අතරින් සිංහල මාධ්‍යයෙන් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව ලකුණු 198ක් ද, දෙමළ මාධ්‍යයෙන් යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ආනන්දසෝදි ලක්ෂ්‍යන් සිසුවා ලකුණු 194ක් ද ලබාගෙන දිවයිනෙන්ම වැඩිම ලකුණු ලබාගත් සිසුන් දෙදෙනා බවට පත්වී ඇත. ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් අතර දිවයිනෙන් කුමන ස්ථානය ලබාගෙන ඇති ද යන්න ප්‍රකාශ නොකරන අතර මෙවර සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දෙදෙනා පමණක් ප්‍රකාශ කර තිබිණි.

කඩඉම් ලකුණු සීමා අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ 140ක් ද දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණ 134ක් ද වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 136ක් වන අතර දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණු 132ක් වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 136ක් සහ දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණු 132ක් වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 135ක් ද දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණ 132ක් වේ.

බදුල්ලල මොනරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 134ක් ද දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණ 132ක් වේග අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 133ක් ද දෙමළ මාධ්‍ය සඳහා කඩඉම් ලකුණ 131ක් වේ. කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යයෙන් කඩඉම් ලකුණ 127ක් ද දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණු 132ක් ද වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 132ක් වේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 127ක් දල දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණ 131ක් වේ. යාපනය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ දෙමළ මාධ්‍යයෙන් 132ක් වේ.

පසුගිය වසරේ (2024) සිංහල මාධ්‍ය වැඩිම කඩඉම් ලකුණ 188ක් දල දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණ 186ක්ව පැවැති බවත් ගිය වසරට සාපේක්ෂව මෙවර ශිෂ්‍යත්ව සමත්වීමේ ප්‍රතිශතය සියයට එකයි දශම බින්දුවයි හයක (1.06%) වැඩිවීමක් ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය ඊයේ විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

එක් එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35ට වඩා ලබාගෙන ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 70කට වඩා ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 213,872ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට හැත්තෑවයි දශම හතරයි තුනක් (70.43%) බවත් ඇය කීවාය. ලකුණු 70ට වඩා ලකුණු ලබාගත් සිසුන් පළාත් වශයෙන් ගෙන බැලීමේදී ඉදිරියෙන්ම සබරගමුවල දකුණ සහ වයඹ යන පළාත් පිළිවෙළින් පවතින බවද ඇය කීවාය. එම පළාත් ප්‍රතිශතයක් ලෙස බැලීමේදී සබරගමුව(74.59%) ක් ද දකුණ (72.82%)ක් සහ වයඹ (72.56%) ලෙස පවතින බවද ඇය කීවාය.(දිවයින)