
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙරිකාව නව තීරුබදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
ඇමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එසේම ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.
පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කර ඇත..
සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අර්චුනා යන පිරිස මෙහිදී අදහස් දක්වා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර්, කාදර් මස්තාන් යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart