December 20, 2025

පිටසක්වල යුධ නැවක් විය හැකි අද්භූත වස්තුවක් සිකුරාදා පෘථිවියට ආසන්නතම ස්ථානයට ළඟා වූ බවට විද්‍යාඥයකු විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

3i/ATLAS ලෙස හඳුන්වන මෙම වස්තුව, පැයට සැතපුම් 130,000ක වේගයෙන්, සැතපුම් මිලියන 170ක දුරින්, එනම් සූර්යයාට වඩා දෙගුණයක් දුරින් ගමන් කර තිබිණි.

මෙම වස්තුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වල්ගා තරුවක් බවට තාරකා විද්‍යාඥයන් අතර එකඟතාවක් ඇති කරගෙන තිබුණ ද හාවඩ් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය අවී ලෝබ් පවසන්නේ පිටසක්වල ජීවීන් අප වෙත පැමිණෙන බව බැහැර කළ නොහැකි බවයි.

මහාචාර්යවරයා ස්කයි නිව්ස් වෙත පවසා තිබුණේ එවැනි දුර්ලභ, ඉතා බලපෑම් සහිත සහ අනපේක්ෂිත සිදුවීමක් විය හැකි දෙයක් සඳහා මානව වර්ගයා දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.

“පිටසක්වල තාක්‍ෂණය විභව තර්ජනයක්, මොකද ඔබ තාරකා අතර ගනුදෙනු කරද්දී ඒක හරියට සහකරුවෙක් හඳුනාගන්න යන්න යන මුල් ගමනක් වගේ වෙනවා ,ඔබට හමුවන සහකරු මිත්‍රශීලී කෙනෙක්ද දාම ඝාතකයෙක්ද කියන්න ඔබ දන්නේ නැහැ” ඔහු පැවසීය.

මහාචාර්ය ලෝබ් පැවසුවේ වස්තුවේ රූපවලින් පෙන්නුම් කරන්නේ එයට ප්‍රචාලන පද්ධතියකින් පැමිණිය හැකි අසාමාන්‍ය වලිගයක් ඇති බවත්, වායු වලාකුළෙහි නිකල් එහි මතුපිට ලෝහ කැණීම් පිළිබඳ සාක්ෂි විය හැකි බවත්, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල කක්ෂ සමඟ පෙළ ගැසී ඇති එහි ගමන් පථය අහම්බෙන් විය නොහැකි බවත්ය.

3i/ATLAS ප්‍රථම වරට ජූලි මාසයේදී විශ්වයේ තරු කැන්වසයට එරෙහිව ආලෝක තිතක් ලෙස දක්නට ලැබිණි.

නමුත් එය සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන් කර, ඔක්තෝබර් මස මුලදී අඟහරු පසුකර, සූර්යයාට පිටුපසින් කෙටිකලක් අතුරුදහන් වී, පෘථිවි කක්ෂයට ආසන්න වූ පසු, බ්‍රහස්පති ග්‍රහයා අසලින් පියාසර කර නැවත දර්ශනයෙන් මැකී ගොස් ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි විසින් මෙම වස්තුව නිරීක්ෂණය සඳහා කැමරා ගණනාවක් තබා ඇති අතර, එහි මූලාරම්භය සම්පූර්ණයෙන්ම ස්වාභාවික බවට සැකයක් නැතැයි සඳහන් කරයි.

“මෙම වස්තුව වල්ගා තරුවක්. එය වල්ගා තරුවක් වගේ පෙන්නේ. එය හැසිරෙන්නෙත් වල්ගා තරුවක් වගෙයි. සියලු සාක්ෂි මගින් පෙන්නුම් කරන්නේ එය වල්ගා තරුවක් බව” යනුවෙන් නාසා ආයතනයේ අමිත් ක්ෂත්‍රිය පැවසීය.

විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ මෙම වල්ගා තරුව වසර බිලියන අටක් පමණ පැරණි බවයි.

එය අපගේ සූර්යයාගේ සහ සෞරග්‍රහ මණ්ඩලයේ වයස මෙන් දෙගුණයක් බවත්, මන්දාකිණියේ නොදන්නා තාරකාවක් සෑදීමෙන් ඉතිරි වූ විශ්වීය පොසිලයක් බවත් විද්‍යාඥයන් අනුමාන කර තිබේ. .

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ක්‍රිස් ලින්ටොට් ස්කයි නිව්ස් වෙත පවසා ඇත්තේ මෙම වස්තුව පිළිබඳ භයානක දෙයක් නොමැති බවයි.

“එය හුදෙක් විකාරයක්. චන්ද්‍රයා චීස්වලින් හැදිලද තියෙන්නේ කියලා බලනවා වගේ වැඩක්.” ඔහු පැවසීය.

“ඔබ කැමති නම් ඔබට එම හැකියාව සළකා බලන්න පුළුවන්, නමුත් මගේ පළමු ප්‍රශ්නය ඔබ එහෙම සිතන්නේ ඇයි?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

වල්ගා තරුවේ වෙනස් වන වර්ණය සහ දීප්තිය සූර්යයා විසින් අයිස් කුහර සහ තරු හරහා ගමනේදී ලබා ගන්නා විවිධ ද්‍රව්‍ය මගින් පැහැදිලි කළ හැකි බව ඔහු පැවසීය.