September 15, 2026

ශ්‍රී ලංකේය ලෝක ශූර රුමේෂ් තරංග හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමනේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් නව හෙල්ල කට්ටලයක් රජය විසින් ලබාදෙන බව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇත.

රුමේෂ් තරංගගේ පුහුණුවීම්වලට බාධාවක් වීම වැළැක්වීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව හෙල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩිනමින් මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

තරංගට අයත් හෙල්ල පහම ගුවන් ගමන අතරතුරදී හානි වී ඇති බව අමාත්‍යාංශය විසින් සඳහන් කරන ලදී.

මෙම හානිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයෙන් වන්දි ලබාගැනීම පිළිබඳව සලකා බලමින් සිටින අතර, ඒ සඳහා ගතහැකි නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික පියවරයන් ද සොයාබලමින් පවතී.

ලෝක මලල ක්‍රීඩා අවසන් ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ Diamond League Final ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තරංග දිවයිනට පැමිණ තිබේ.

ඉදිරි අන්තර්ජාතික තරග සඳහා මෙන්ම 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගත් තරංගට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ පහසුකම් අඛණ්ඩව ලබාදෙන බව අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.