November 18, 2026

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට; N95 මුඛ ආවරණ පළඳින ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය ඊයේ අහිතකර මට්ටමක් දක්වා පහත වැටීමත් සමඟ, සංවේදී පුද්ගලයින්ට N95 මුඛ ආවරණ පළඳින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් දී තිබේ.

අද පෙරවරු 9.16ට වාර්තා වූ වායු ගුණාත්මක දත්තවලට අනුව, බත්තරමුල්ල, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, හලාවත, යාපනය, අනුරාධපුර, අක්කරෙයිපත්තුව සහ ත්‍රිකුණාමලයේ නිලාවේලි වෙරළ තීරය යන ප්‍රදේශවල අහිතකර වායු ගුණාත්මක මට්ටම් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවෙන් පිටත සිට සුළං ප්‍රවාහ ඔස්සේ දූෂක අංශු පැමිණීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක PM10 සහ PM2.5 ඇතුළු අවලම්බිත අංශුමය ද්‍රව්‍ය මට්ටම ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පවතින වායු ගුණාත්මක තත්ත්වය සංවේදී පුද්ගලයින්ට බලපෑම් කළ හැකි බවට අනතුරු ඇඟවූ අධිකාරිය, ඉදිරි දින කිහිපය තුළ ද මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව සඳහන් කළේය.

මෙම තත්ත්වය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසූ එම අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වායු ගුණාත්මකභාවය පිළිබඳ යාවත්කාලීන තොරතුරු aq.cea.lk යන ජාතික වායු ගුණාත්මක වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.