July 20, 2023

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම සඳහා කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300  නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන  මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය අද( 20)සිට ජූලි 27 වැනිදා දක්වා  මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වේ.

රාමඤ්ඤ මහා  නිකායේ  මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යාමට අප  කටයුතු කර තිබෙනවා. කෘතිම බුද්ධිය පිළිබඳව මේ වන විට සමාජය  තුළ දැනුවත්භාවයක් තිබෙන නිසා ඊටත් වඩා පහසුවෙන් ධර්මය සුරක්ෂිත කිරීමට  එය දායකකරගත හැකියි. කෘතිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත  ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන  ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට හැකියාව තිබෙනවා.

ජපානයේ කෂුමා කියල පුද්ගලයෙක් hotoke.ai වැඩසටහනින් සෙන් බුදුදහමට අදාළව පිළිතුරු ලබාදෙන ආකාරය පසුගිය දිනක දකින්න ලැබුණා. එහි සඳහන් වන්නේ “බුද්ධ ධර්මය අත ළඟ” යනුවෙනි. නමුත් අපි බලාපොරාත්තු වෙන්නේ එවැන්නක් නොවෙයි.   එතැන විකෘති කිරීමක් සිදුව තිබෙනවා. බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්” යනුවෙනි.  නමුත් එය එසේ විය නොහැකියි. මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරිමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.

ඒ වගේම කෘතිම බුද්ධිය ධර්මය සදහා භාවිතා කිරීමේ දී අප මීට වඩා ගැඹුරින් ඒ පිළිබඳ පරීක්ෂණ කළයුතුයි. ඒ නිසා අපි තීරණය කළා මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක්  වෙන් කිරිමට.  තවත් වැඩිපුර මුදල්  අවශ්‍ය නම් ඒ සඳහා ද කටයුතු කළ හැකියි.

මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා.  ඒ සදහා උන්වහන්සේලාට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

කෘතිම බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මෙම උතුම් කාර්යය ඉටුකිරීමේ වැඩපිළිවෙළ  මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා මෙන්ම උගත් වියත් පිරිසකගේ අදහස් ලබාගෙන ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම කටයුතු සම්බන්ධීකරණය සදහා  ජනාධිපති ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාද පත් කර තිබෙනවා. ඉන්පසුව සාකච්ඡා මාර්ගයෙන් මෙම කටයුතු ඉදිරියට කරගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”