
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර පිරිමි දරුවකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන කෲර වධහිංසාවට ලක්කළ හතරලියැද්ද පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට එම දරුවාට හා ඔහුගේ භාරකරු වන මවට රුපියල් තුන්ලක්‍ෂ හැත්තෑපන් දහසක වන්දියක් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (01දා) නියෝග කළේය.
එලෙස අනීතික ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් එම දරුවාගේ හා භාරකාර මවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය හතරලියැද්ද පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක වීරකෝන් නමැත්තාට ඔහුගේ පෞද්ගලික මුදලින් වධහිංසාවට ලක්වූ දරුවාට රුපියල් ලක්‍ෂ තුනක වන්දියකුත් දෙවන පෙත්සම්කාර මවට රුපියල් 75,000ක වන්දියකුත් ගෙවන ලෙසට නියෝග කළේය.
බාලවයස්කරුවකු අත්අඩංගුවට ගත් විටෙක පැය හයක් ඇතුළත ඔහුව හෝ ඇයව දෙමාපියන්ට පෙන්විය යුතු බවටත් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන යෑමට පෙර මවුපියන්ට පෙන්විය යුතු බවටත් සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව මගින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
2022.08.06 වැනිදා හතරලියැද්ද පොලිසිය විසින් සිය අසල්වැසියකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එවකට වයස අවුරුදු 16යි මාස අටක් වයසැති සිය පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිසියේ දින දෙකක් රඳවාගෙන අමානුෂික ලෙස වධහිංසා කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙමින් හමිම් සිත්ති නිශාරා නමැත්තිය එම පෙත්සම ගොනුකර තිබිණි.
එකී කෲර වධහිංසා නිසා දැඩි ලෙස රෝගී වී තිබූ තම පුත්‍රයාව 2022.08.09 වැනිදා මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබියදී ඇප මත මුදාහැර ඇති බවත් පසුව ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවත් පෙත්සම්කාරිය එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ලියා සකස් කළ එම තීන්දුව සාමාජික විනිසුරු මේනකා විජේසුන්දරගේ හා විනිසුරු සම්පත් බී. අබේකෝන්ගේ එකඟතාවය ඇතිව ප්‍රකාශයට පත්කළේය.
නීතිඥ හරිනි ජයවර්ධන සමග නීතිඥ පුලස්ති හේවාමාන්න පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසියහ.
පළමුවැනි වගඋත්තරකාර වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වීරකෝන් නමැත්තා, පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පස්දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart