July 5, 2025

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ මහේෂි සුරසිංහ විජේරත්න ගෙවුණ වසර කීපය තුළදී ඇය භාරව සිටින වාට්ටුවට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත්වූ සමහර රෝගීන්ට ගල්‍යකර්ම 7-8ක් සිදුකර ඇතත්, ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් අතරින් සියයට 70ක් පමණ මියගොස් ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ගත කොමිෂන් සභාව ඊයේ (04දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග හමුවේදී කරුණු දක්වමින් පැවැසීය.

තම කොමිෂන් සභාව විසින් විමර්ශන සිදුකරනුයේ ඇයට එරෙහිව ලැබී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පමණක් වන්නේ යැයි ද පැවැසූ එකී විමර්ශන මෙහෙය වන පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්, එකී විමර්ශන අනුව තවත් වෛද්‍ය ආයතන දෙකක් හා වෛද්‍යවරුන් කීපදෙනකු ගැන ද වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද අධිකරණයට ප්‍රකාශ කළේය.

ඇයගෙන් ප්‍රකාශ සටහන් කළ අවස්ථාවේදී පදිංචි ස්ථානය ලෙස සඳහන් කළ නිවසේ ඇය පදිංචිව නොමැති බවත්, එකී ලිපිනය ද වැරදි බවත් අධිකරණයට පැවසූ පොලිස් පරීක්ෂකවරයා, තම කොමිෂන් සභාව විමර්ශන සිදුකරනුයේ මහජනතාවගේ පැත්තේ සිටගෙන මිස කිසිවකුට අගතියට පත්වන ආකාරයෙන් නොවන්නේ යැයි ද පැවැසීය.

තම කොමිෂන් සභාව හමුවට පැමිණෙන ඇයගේ ක්‍රියාකලාප නිසා අගතියට පත්වූ රෝගීන් ඇතුළු පාර්ශ්ව හඬා වැළපෙමින් ප්‍රකාශ ලබාදෙන්නේ යැයි ද පැවැසූ පොලිස් පරීක්ෂකවරයා, ඇය සිදුකළ ශල්‍යකර්ම ගැන තමන් තර්ක නොකරන බවත්, එකී ශල්‍යකර්ම සිදුකිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණය නමැති වරද සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනුයේ එම වෛද්‍ය උපකරණ අලෙවියෙන් උපයාගත් මුදල් ඇගේ ගිණුම්වල තැන්පත් වී ඇති නිසා වන බවත් සඳහන් කළේය.

ඇය ඉල්ලා සිටින වෛද්‍ය අයිතම එම රෝහලේ නැතත් රෝගියකුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා සිදුකරන හදිසි ශල්‍යකර්මවලට අවශ්‍ය බව දැනුම් දුන්නේ නම් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අවශ්‍ය ඖෂධ ඇතුළු දේ පැයක් දෙකක් ඇතුළත ඒවා රැගෙනවිත් ලබාදිය හැකි බව රෝහල් සැපයුම් අංශයේ නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ අනුව පෙනීයන්නේ යැයි ද විමර්ශන මෙහෙයවන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් අධිකරණයට පැවැසීය.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න කරුණු දක්වමින්, බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයෑමේ ප්‍රවණතාවයක් ඇති වර්තමානයේ එලෙස විදේශගත නොවී රට වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ එම වෛද්‍යවරියට විමර්ශන නිලධාරීන් මෙලෙස අසාධාරණ ලෙස සලකන්නේ නම් රටේ ජනතාවට දෙවියන්ගේ පිහිට මිස වෙනත් සරණක් නොමැති බව සඳහන් කළේය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ සැබෑ තත්ත්වය සඟවමින් පක්ෂග්‍රාහී ආකාරයෙන් වන්නේ යැයි ද, අධිකරණයට දීර්ඝ ලෙස කරුණු දක්වමින් පැවසූ ජනාධිපති නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාර වෛද්‍යවරිය ඇපමත මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය EUC සහ SHUNT යන ආයිත්තම් රෝහලේ වාර්ෂික මිලදී ගැනීමේ ලේඛනයට ඇතුළත් නොකර අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ ආයතනයක් මගින් එම ආයිත්තම් ලබාගැනීම, එමඟින් රෝහලට පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ වෛද්‍යවරිය ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබිණි.

පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය 24 වැනිදා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කොට තිබිණි.

වෛද්‍යවරියට ඇප ඉල්ලා ගොනු කළ මෝසමක් අනුව එම නඩුව ඊයේ (04දා) කැඳවිණි.

එම ඇප ඉල්ලීමේ තීන්දුව ලබන 8 වැනිදා නිකුත් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.(දිවයින)