
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී පසුගිය මාසයේ භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඇය අරලගංවිල ප්‍රදේශයේදී ඊයේ (පෙබ.21) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
22 හැවිරිදි සැකකාරිය වේරගල දේවගල ප්‍රදේශයේ පදිංචිකාරියක බව වාර්තා වේ.
ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ජනවාරි 23 වැනිදා අලුයම මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් ප්‍රහාරක පිරිසක් විසින් භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 45 හැවිරිදි පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමි ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.
ඝාතනයට සම්බන්ධ යැයි කියන සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
සිව්වැනි සැකකරු සන්තකයේ තිබී ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ටී 56 ගිනි අවිය සහ වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථයේ දුරස්ථ ස්විචය ද සොයාගෙන තිබේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයකු පසුගියදා ජීවිතක්ෂයට පත්විය.
වාර්තා වන අන්දමට, පෙබරවාරි 10 වැනි දින අලුයම බටේපොළ ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ගත් උත්සාහයක් අතරතුර ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති අතර, සැකකරු විසින් ගිනි අවිය පැහැරගැනීමට තැත් කර තිබේ.
එහිදී ගිනිඅවිය ක්‍රියාත්මක වී අදාළ පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති අතර පසුව සැකකරු අවිය රැගෙන පලාගොස් ඇත.
තුවාල ලැබූ 51 හැවිරිදි පොලිස් සැරයන්වරයා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහු ඉහළ ලුණුගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.
පසුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතත් දින දෙකකට පසු මියගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart