May 24, 2025

මෙරටින් වඳ වී ගොස් ඇතැයි සැළකුණු සින්කෝනා ශාක විශේෂයට අයත් හොඳින් වැඩුණු ශාක කිහිපයක් අඹගමුව, අලියාගල කඳු වැටියේ බටහිර බෑවුම්වලින් වසර 150කට පසු සොයාගෙන තිබේ.

පරිසරවේදී ලක්ෂ්මන් කුමාර පැවසුවේ තමා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් අලියාගල කඳු වැටියේ තිබී සින්කෝනා ශාක සොයාගත් බවයි.

බ්‍රිතාන්‍යයන් 1861 දී හග්ගල උද්භිද උද්‍යානයේ සහ ඒ අවට ප්‍රදේශවල සින්කෝනා වගා කර කෙටි කාලයක් තුළ එය අතහැර දැමූ බව ඔහු පැවසීය.

එය ශ්‍රී ලංකාවේ වඳ වී ගිය ශාක විශේෂයකට අයත් වූ අතර හග්ගල උද්භිද උද්‍යානයේ සංරක්ෂණය කර ඇත්තේ එක් ශාකයක් පමණි.

කෙසේවෙතත්, මධ්‍යම කඳුකරයේ මෙම විශේෂයේ ශාක කිහිපයක් තිබිය හැකි බව පරිසරවේදීයා විශ්වාස කරයි.

මධ්‍යම මුහුදු මට්ටමේ සිට මීටර් 742ක් පමණ උසින් පිහිටි උනනගල කඳුකරයේ හොඳින් වැඩුණු ශාක හයක් පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගෙන ඇති බව ඔහු පැවසීය.

පරිසරවේදීයා පැවසුවේ සින්කෝනා යනු මැලේරියාව සඳහා වඩාත් ඵලදායී ඖෂධය වන ක්විනීන් සැකසීමට භාවිත කරන ඖෂධීය ශාකයක් බවයි.

ක්විනීන් යනු මැලේරියාව සඳහා මුල්ම ඵලදායී ප්‍රතිකාරවලින් එකකි.

මිනිසා විසින් ප්‍රාථමික වනාන්තර විනාශ කිරීමෙන් පසු ජනනය වන ද්විතියික වනාන්තර ආක්‍රමණය හේතුවෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකට අයත් හොඳින් වැඩුණු සින්කෝනා ශාක කිහිපයක් සොයා ගැනීම සතුටක් බව ඔහු පැවසීය.

සින්කෝනා දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කඳුකරයට ආවේණික ශාකයකි.

විශේෂයෙන් පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව සහ බොලිවියාව වැනි රටවල මෙම ශාකය දැකිය හැකි වේ.

සින්කෝනා ගස්වල පොත්තෙහි ක්විනීන් අඩංගු වන අතර එය සියවස් ගණනාවක් තිස්සේ මැලේරියා නාශක ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ.