
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා නීති දැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව අලුතින් පත්කරන ලද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
අද දින වැඩ භාරගැනීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති වීරසූරිය පැවසුවේ, මත්ද්‍රව්‍ය සහ අපරාධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා විශේෂ වැටළීම් පවතින නීති යටතේ දිගටම කරගෙන යා නොහැකි බව ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි.
“එබැවින්, මෙම ගැටළු විසඳීම සඳහා අපි නීති සම්පාදනය කරමින් සිටිනවා. අපරාධ හා දූෂණවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමට නොහැකි පුද්ගලයන් සමඟ කටයුතු කිරීම සඳහා නව නීති අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවෙන් අපට උපරිම සහයෝගය ලැබී තිබෙනවා. ඔවුන්ගේ සහාය උපයෝගී කර ගැනීමට සහ සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගන්නවා” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ වැඩිවන වෙඩි තැබීමේ සිදුවීම් ඇතුළුව අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා පවත්වනු ලබන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින නීතිවල ඇති අඩුපාඩු හඳුනාගනිමින් සිටින බව පොලිස්පති වීරසූරිය තවදුරටත් පැවසීය.
“මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිටුපස සිටින සමහර පුද්ගලයන් විදේශ රටවලට පළාගොස් රැකවරණය පතා තිබෙනවා. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ සහචරයින් හරහායි. සන්නද්ධ හමුදාවන්ගෙන් පළාගිය සමහරුන් සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පවා සිටිනවා. මේ සියල්ල විසඳීමට අපි පියවර ගනිමින් සිටිනවා” ඔහු පැවසීය.
පොලිස්පති වීරසූරිය පැවසුවේ පළමු පියවර පොලිසිය පිරිසිදු කිරීම සමඟ කටයුතු ආරම්භ කරන බවත්, පසුව සමාජය කෙරෙහි අවධානය යොමුකරන බවත්ය.
සමාජයේ ආයුධ සංසරණය පිළිබඳව අදහස් දක්වමින්, සාමාන්‍ය පුරවැසියන් අත විශාල ගිනිඅවි සංඛ්‍යාවක් දැනට ඇති බව ඔහු පිළිගත්තේය.
“මේවාට ත්‍රිවිධ හමුදාවෙන් ලබාගත් ආයුධ, එල්ටීටීඊයට අයත් ආයුධ, ත්‍රිවිධ හමුදාවෙන් සොරකම් කරන ලද ආයුධ සහ පොලිසීයෙන් ලබාගත් ආයුධ ඇතුළත් වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයුධ ගැන පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා” ඔහු පැවසීය.
අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව සොයාගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය පියවර ගන්නා බවත්, වැරදිකරුවන් වුවහොත් ඔවුන් රාජකාරියෙන් අත්හිටුවන බවත් නව පොලිස්පතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart