June 10, 2024

සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මගියකුගෙන් ඉන්දීය රුපියල් මිලියන 85ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 13.5ක් චෙන්නායි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

29 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු වන මෙම මගියා මෙම රත්‍රං තොගය නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කර ඇත.

ඔහු එම රත්‍රං පාර්සලයක සඟවා එය නීත්‍යනුකූල පාර්සලයක් ලෙස යැවීමට උත්සාහ කරමින් සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ඩිගෝ ගුවන් යානයකින් පැමිණ ඇති මගියා රත්‍රං තොගය ප්‍රකාශ නොකර හරිත නාලිකාව හරහා යෑමට උත්සාහ කිරීමත් සමඟ රේගු නිලධාරීන්ට සැකයක් ඇති වී තිබේ.

ඔවුන් ඔහුගේ ගමන් මලු පිරික්සීමේදී රුපියල් මිලියන 85ක් වටිනා රත්‍රං තොගය සොයාගෙන තිබේ.

මෙය මෑත කාලයේ චෙන්නායි ගුවන් තොටුපළේ සිදු වූ විශාලතම රත්‍රං අත්අඩංගුවට ගැනීම්වලින් එකකි.

මෙම මගියා රත්‍රං ජාවාරම් කිරීමේ මෙහෙයුමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ සේවකයකු සම්බන්ධ කරගෙන ඇති බව ද හෙළිවී ඇත.

මෙම මගියා රත්‍රං ජාවාරමේ යෙදී සිටින විශාල කණ්ඩායමක සාමාජිකයකු වන අතර ඔහු ඉන්දියාවට රත්‍රං රැගෙන ඒම සඳහා ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සහය ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

මේ අතර, මෙම මගියා විශාල රත්‍රං තොගයක් රැගෙන යමින් සිටියදී පෙර ආරක්ෂක පරීක්ෂාවන් පසුකර යෑමට සමත් වූයේ කෙසේද යන්න පිළිබඳ ඉන්දීය රේගු නිලධාරීන් විමර්ශන සිදුකරන බව ද වාර්තා වේ.