August 22, 2026

මහත්මා ගාන්ධිතුමන් විසින් තමන්ගේම අතින් ලියන ලද අතිශය දුර්ලභ සටහන් එකතුවක් මුම්බායි හි පැවැත්වුණු වෙන්දේසියකදී ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වී ඇත.

මෙය ඉන්දියානු ඓතිහාසික ලේඛනයක් වෙනුවෙන් වෙන්දේසියකදී ලැබුණු වැඩිම ලෝක වාර්තාගත මිල වේ.

1944 සහ 1946 කාලය තුළ ගාන්ධිතුමන් විසින් අහිංසාව, සත්‍යය සහ ආත්ම දමනය පිළිබඳව තබන ලද සටහන් 688ක් මෙලෙස අලෙවි වී තිබේ.

මෙම සටහන් පසුව එකතු කර ‘A Thought for the Day’ නමින් පොතක් ලෙස ද ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම වෙන්දේසිය ‘Saffronart’ ආයතනය මගින් ‘Gandhi: From the Collection of Anand T Hingorani’ යන තේමාව යටතේ පවත්වන ලදී.

මෙම ලිපි ලද ආනන්ද් ටී. හිංගෝරානි යනු වයස අවුරුදු 13 සිට ගාන්ධිතුමන්ගේ අනුගාමිකයකු වූ ඔහු, බ්‍රිතාන්‍ය ලුණු බද්දට එරෙහිව 1930දී පැවැත්වුණු ඓතිහාසික ‘දණ්ඩි පාගමනට’ (Dandi March) සම්බන්ධ වූ නිදහස් සටන්කාමියෙකි.

හිංගෝරානිගේ බිරිඳ වන විද්‍යාගේ අභාවයෙන් පසු දැඩි ශෝකයෙන් පසුවූ ඔහුට සැනසීම සහ ධෛර්යය ලබාදීම සඳහා ගාන්ධිතුමන් වසර දෙකක පමණ කාලයක් මෙම දිනපතා සටහන් ලියා යවා ඇත.

ගාන්ධිතුමා භාවිත කළ ‘පෙට්ටි චර්කාව’ (Peti Charkha – නූල් අඹරන යන්ත්‍රය), ඔරලෝසුව, භගවත් ගීතාව සහ දෙවියන් පිළිබඳ සටහන් මෙන්ම දුර්ලභ ඡායාරූප ද මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

මෙම සටහන් මගින් ගාන්ධිතුමන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මතවාද තම පෞද්ගලික ජීවිතයේදී ප්‍රායෝගිකව අනුගමනය කළ ආකාරය මනාව පැහැදිලි වන බව Saffronart ආයතනයේ සම-හමුදාරු දිනේෂ් වසිරානි පැවසීය.

කෙසේවෙතත්, මෙම අතිදැවැන්ත මුදලට ලේඛන එකතුව මිලදී ගත් තැනැත්තාගේ තොරතුරු මෙතෙක් හෙළිදරව් කර නොමැත.