February 22, 2024

කොවිඩ්වලින් ආරක්ෂාවීම සඳහා දුන් ඇතැම් කොවිඩ් එන්නත් හේතුවෙන් හෘදය, මොළය සහ රුධිරයට සම්බන්ධ ආබාධ ඇති විය හැකි සිදුවීම් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ Global Vaccine Data Network කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

ඒ අනුව, මෙරට වෛද්‍ය වෘත්තිකයන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අංශයක් වන Global Vaccine Data Networkහි පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ෆයිසර් මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනිකා වැනි සමාගම්වල කොවිඩ් එන්නත් මගින් හෘදය, මොළය සහ රුධිර ආබාධ සමඟ සම්බන්ධ වියහැකි විරල අවස්ථා පවතින බවයි.

රටවල් අටක් පුරා එම එන්නත් ලබාදුන් පුද්ගලයන් මිලියන 99ක ජනගහනයක් ඉලක්ක කර අධ්‍යයනය සිදුකර තිබිණි.

මෙම අධ්‍යයනය කොවිඩ් එන්නත් පිළිබඳ මෙතෙක් සිදු කරන ලද විශාලතම අධ්‍යයනය බව පැවසේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ අධ්‍යයනයේ සොයාගැනීම්වල බරපතළකම අනුව ඒ පිළිබඳ ශ්‍රී ලංකාව අවදියෙන් සිටීම වඩා හොඳ බවයි.

“කෙසේවෙතත්, අධ්‍යයනය සිදු කරන ලද දත්ත ශ්‍රී ලංකාවට ඍජුව සම්බන්ධ නොවන බැවින් අධ්‍යයනයේ සොයාගැනීම් ශ්‍රී ලංකාවට කෙලින්ම යෙදිය නොහැකියි. තවද, ජාන රටා සහ ඒ ආශ්‍රිත රටා වැනි සාධක ද එහිදී සැළකිව යුතු කාර්යභාරයක් ඉටු කරනවා ,” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

“කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දේශීය සමීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ගැන අවධානය යොමුකළ යුතු අතරම තත්ත්වය සමීපව නිරීක්ෂණය කළ යුතුයි,” යැයි ද වෛද්‍ය විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර ඇත්තේ කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ පිළිබඳ රට තුළ ඔප්පු කරන ලද අධ්‍යයනයක් සිදු කර නොමැති බවයි.

කෙසේවෙතත්, තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට කැපවන බව ද අමාත්‍යංශය ප්‍රකාශ කරයි.