
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන බැංකුවේ විවිධ බැංකුකරණ සේවාවන් ලබාදෙන බව පවසමින් සංවිධානාත්මක වංචාකාරී කණ්ඩායමක් ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු ලබාගැනීමේ උත්සාහ කරමින් සිටින බවට වාර්තා වී ඇතැයි එම බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එමෙන්ම කිසිවිටකත් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකුකරණ කටයුතු සිදුකිරීමට බැංකුව වෙනුවෙන් තෙවැනි පාර්ශවයක් යොදවන්නේ නැති බව ද මහජන බැංකුව එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.
ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද, පරිශීලක නාම සහ OTP අංක වැනි පෞද්ගලික තොරතුරු තෙවැනි පාර්ශවයක් වෙත අනාවරණය නොකරන ලෙස ද මහජන බැංකුව ජනතාවගෙන් ඉල්ලා ඇත.
මේ අතර, බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතාකරන ආකාරයට කතාකර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මේ වනවිට එම වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන්පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OTP) ඉල්ලා ඇත.
තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර තිබේ.
එම රහස් අංකය ලබාගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළත් වී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සඳහන් කරයි.
මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටන මෙම වංචනික කල්ලිය මේ වනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (07) රුපියල් 208,000ක මුදලක් ලබාගෙන ඇති අතර, උන්වහන්සේ කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
පසුගිය සතියේ තවත් අයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අයුරින් දුරකථන මඟින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙසත්, මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart