July 29, 2025

නීති ක්ෂේත්‍රයේ වසර 37කට වැඩි පළපුරුද්දක් ඇති නීතිඥවරයකු වංචාවකට වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම නිසා ඔහු නීතිඥ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

නොතාරිස්වරයකු ලෙස කටයුතු කිරීම ද ඔහුට තහනම් කරන ලදී.

වගඋත්තරකරු වන නීතිඥ ධම්මික අඹේවෙලට එරෙහි චෝදනාව වී තිබුණේ, පැමිණිලිකරු වන කටුවන මදරසිංහගේ චන්ද්‍රදාසට ඉඩමෙන් කොටසක් විකිණීමට පොරොන්දු වීමෙන් පසුව, ඔහු විසින්ම සකස් කරන ලද ඔප්පුවක් හරහා එම ඉඩම තුන්වැනි පාර්ශවයකට විකුණා දැමීමයි.

එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශ කරමින් නියෝග කළේ 2003 මාර්තු 7 වැනිදා සිට පොලිය ද ගණනය කර තීන්දුව ප්‍රකාශ කළ දින සිට මාස තුනක් ඇතුළත පැමිණිලිකරුට රුපියල් 66,000ක් ගෙවන ලෙසයි.

චෝදනා කිහිපයකින් සමන්විත රීතිය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලදී.

වගඋත්තරකරු චෝදනාවලට වරදකරු නොවන බව සඳහා කර තිබිණි.

නීතියට අනුව එම ඉඩම විකිණීමේ ගිවිසුම ක්‍රියාත්මක නොකර, වගඋත්තරකරු පැමිණිලිකරුගෙන් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වූ අතර, ඔහු ඉඩම විකිණීම සඳහා වලංගු ගිවිසුමකට එළඹ සිට තිබේ.

වගඋත්තරකරු එම ඉඩම පැමිණිලිකරුට රු. 62,500කට විකිණීමට එකඟ වී ඇති අතර, පැමිණිලිකරු එම මුදල වාරික කිහිපයකින් වගඋත්තරකරුට ගෙවා ඇත්තේ එම දේපළෙහි හිමිකරු තමා බවට විශ්වාස කරමිනි.

කෙසේවෙතත්, නොතාරිස් ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව විකිණීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරු අපොහොසත් වී ඇත.

“වගඋත්තරකරු වංචාව සහ අක්‍රමිකතාව යන වැරදි සිදු කර ඇති බවත්, එමඟින් නීතිඥවරයකුට නොගැළපෙන නින්දිත සහ නුසුදුසු ලෙස හැසිරී ඇති බවත් මම සලකමි,” යනුවෙන් විනිසුරු තුරෙයිරාජා සඳහන් කළේය.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42 (2) වගන්තිය යටතේ වගඋත්තරකරු විසින් නීතිඥ රැඳී සිටීමට නුසුදුසු බවටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ 60 සහ 61 (නීතිඥ හැසිරීම සහ ආචාර ධර්ම) නීති උල්ලංඝනය කිරීමත් සිදු කර ඇති බවටත් ඔහුට චෝදනා එල්ල විය.

දනුක ලක්මාල්ගේ උපදෙස් පරිදි නුවන් ගොඩගේ සමඟ සඳුන් සේනාධිපති වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් චතුර ගල්හේන සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර පෙනී සිටියේය.