December 3, 2023

ශ්‍රී ලංකාවේදී සිදු වූ විවාහයක් විදේශ රටක නිසි අධිකරණයකදී විසුරුවා හැරීමට කිසිදු සීමාවක් තිබිය නොහැකි බවට සුවිශේෂී තීන්දුවක් දෙමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විවාහ වී විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් විදේශ අධිකරණවලින් ලබාගත් දික්කසාද මෙතෙක් මෙරට තුළ පිළිගැනීමට ලක්නොවිණි.

සෝභිත රාජකරුණා විනිසුරුවරයාගේ තීන්දුවට ධම්මික ගනේපොල විනිසුරුවරයා එකඟවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මෙරට පවතින තත්ත්වය පළමු වරට වෙනස් විය.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව විදේශ රටක දී ලබාගත් විවාහයක් විසුරුවා හැරීම හඳුනාගැනීමට ශ්‍රී ලංකාවේ පවතින නීති යටතේ හැකියාවක් නැති බවට ශ්‍රී ලංකාවේ විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් 2021 මාර්තු මස ලබාදුන් තීන්දුව අවලංගු කරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස බ්‍රිතාන්‍යයේ පදිංචිකරුවකු වන ලියනගේ චම්පික හරේන්ද්‍ර සිල්වා පෙත්සම්කරු සිය නීතීඥවරයා මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි.

දික්කසාද නඩුවක් ගොනුකිරීමෙන් පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ නිසි අධිකරණයකින් නියෝගයක් ලබාගත යුතු බව ශ්‍රී ලංකාවේ විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසා තිබිණි.

එංගලන්තයේ පවුල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද ඔහු සහ වගඋත්තරකාර පූර්ණා සෙව්වන්දි නාගසිංහ අතර විවාහය විසුරුවා හරිමින් දික්කසාද කිරීමේ නියෝගය නීත්‍යනුකූලව බලාත්මක කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන මැන්ඩමුස් ආඥාවක් ද සිල්වා පෙත්සම්කරු ඉල්ලා සිටියේය.

ඔහු ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසියෙකි.

2010 දී කොළඹ දී විවාහ වූ මෙම යුවළ එංගලන්තයට සංක්‍රමණය වී එහි පදිංචි වී සිටියහ.

ඔවුන්ගේ විවාහය දෙදරා ගිය පසු චම්පික හරේන්ද්‍ර සිල්වා කඩුවෙල දිසා අධිකරණයේ දික්කසාද වීමට පියවර ගත්තේය.

එහෙත් ඒ වන විට ඇය එංගලන්තයේ කිංග්ස්ටන්හි පවුල් අධිකරණයේ දික්කසාද වීමට නඩුවක් ගොනුකර තිබූ බව පූර්ණා නාගසිංහගේ නීති නියෝජිතයන් අධිකරණයට දන්වා තිබිණි.

ඒ අනුව චම්පික හරේන්ද්‍ර සිල්වා කඩුවෙල දිසා අධිකරණයෙන් තමාගේ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

බ්‍රිතාන්‍ය අධිකරණය 2018දී විවාහය විසුරුවා හැරීමට නියෝගයක් නිකුත් කළ අතර ඉන්පසුව චම්පික හරේන්ද්‍ර සිල්වා 2019දී තායිලන්තයේ බැංකොක්හි විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයකදී වෙනත් විවාහයකට ඇතුළු විය.

ඉන්පසු ඔහු ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේ එංගලන්තයේදී ලබාගත් විවාහය විසුරුවා හැරීමේ නියෝගය ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව බලාත්මක කරන ලෙසයි.

රෙජිස්ට්‍රාර්වරයාගේ ප්‍රතිචාරය ඉහත වාර්තා කළ පරිදිය.

එහෙත් විනිසුරු රාජකරුණා ප්‍රකාශ කළේ “සමහර නිසි අධිකරණයක්” යන වචන ශ්‍රී ලංකාවේ අධිකරණයකට පමණක් සීමා කිරීමට ව්‍යවස්ථාදායකය අදහස් නොකළ බවට චම්පික හරේන්ද්‍ර සිල්වාගේ යෝජනාව පිළිගැනීමට තමන් නැඹුරු වන බවයි.

ඔහු විසින් සකස් කරන ලද මාර්ගෝපදේශ තුනක් මත පදනම්ව (දික්කසාදය සඳහා අයදුම් කිරීමේදී දෙපාර්ශවයම සාධාරණ කාලයක් අදාළ රටෙහි පදිංචිව සිටිය යුතු බව ද ඇතුළුව) සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නීතිවලට යටත්ව,විදේශ රටක දී විවාහය විසුරුවා හැරීමේ වලංගු නියෝගයක් ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය විටෙක බලාත්මක කළ හැකි බව ඔහු පැවසීය.

චම්පික හරේන්ද්‍ර සිල්වාට රෙජිස්ට්‍රාර්වරයාගේ තීරණය අවලංගු කිරීමට අධිකරණය ආඥාවක් ලබාදුන්නේය.

එහෙත් එය “ශ්‍රී ලංකාවේ දිසා අධිකරණයක් දික්කසාද නියෝගයක් නිකුත් කරන සෑම අවස්ථාවකම එවැනි රාජකාරියක් කිරීමට රෙජිස්ට්‍රාර්වරයා බැඳී ඇති ඉහත කී ආඥාපනතෙහි කිසිදු ප්‍රකාශිත විධිවිධානයක් නොමැති බව පෙනේ” යනුවෙන් සඳහන් කරමින් මැන්ඩමුස් ආඥාවක් ලබාදුන්නේ නැත.

කෙසේවෙතත්, විදේශ රටක සිදුවී ඇති විවාහය තහවුරු කිරීමට හෝ ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවේ දිසා අධිකරණයකින් එවැනි ප්‍රකාශයක් ලබාගැනීමට එය බාධාවක් නොවිය යුතු බවද එහි සඳහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් නිෂාදි වික්‍රමසිංහ සමඟ සේනානි දයාරත්න පෙනීසිටියහා.

පූර්ණා නාගසිංහ හැර සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ එම්.ප්‍රනාන්දු සමඟ රජයේ අධිනීතිඥ නයෝමි කහවිට පෙනීසිටියහ.