
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් කෝටිපතියන් වී ඇති බවට ලැබී ඇති තොරතුරු මත එම කාර්යාංශයේ 400 කට අධික සියලුම නිලධාරීන්ගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වී තිබෙන චෝදනා මත එම කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂකවරුන් 05 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඔවුන්ට එරෙහිව පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය පිරිසිදු කිරීමේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමේ පරීක්‍ෂණ ද මේ වනවිට ආරම්භ කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන නිලධාරීන් අතරින් 20 දෙනකුගේ වත්කම් වාර්තා මේ වනවිටත් ලැබී ඇති අතර, සෙසු සියලු නිලධාරීන්ගේ ද වත්කම් පරීක්‍ෂාව මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ, මෙම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් වසර 20-25 ක් තිස්සේ එහි රාජකාරි කරමින් සිටින බවත්, ඔවුන් අතරින් බොහෝ නිලධාරීන්ගෙන් නිසි සේවයක් නොලැබෙන බවත්ය.
දීර්ඝ කාලයක් එකම ආයතනයේ රාජකාරි කරන නිලධාරීන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වන බවත් විමර්ශන සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔවුන් හරහා ජාවාරම්කරුවන් අතට පත්වන බවට තොරතුරු ලැබී ඇති බවත් එම උසස් නිලධාරියා කියා ඇත.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බව ද විමර්ශනයකින් හෙළි වී ඇත.
මත්ද්‍රව්‍ය තොග රැගෙන එන බහුදින ධීවර යාත්‍රා හඳුනා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු VMS දත්ත පද්ධතියට පිටස්තර පුද්ගලයන් ඇතුළු වී එහි තොරතුරු ලබාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ ආකාරයට පිටස්තර පුද්ගලයන් 57 දෙනකු මෙම දත්ත ඒකකය වෙත ඇතුළු වී තිබෙන බව ද හෙළිදරව් වී ඇත.
එමෙන්ම දූෂණ චෝදනා මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පසුගියදා ඉවත් කළ දූෂිත නිලධාරීන් පිරිසක් එම අංශයේ අතිශය රහසිගත තොරතුරු රැසක් පරිගණක පද්ධතියෙන් මකා දමා ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart