
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
BMW වාහන 1,728කට සම්බන්ධ බව කියන තීරුබදු වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු පරිපාලනය විමර්ශනයේ දී දක්වන උදාසීනත්වයට එරෙහිව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම ඇතුළු ඉහළ බලධාරීන්ගේ මැදිහත්වීම් ඉල්ලා සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වාහන නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බැවින් එවැනි භාණ්ඩ ළඟ තබා ගැනීම ද නීති විරෝධී වන නිසා දැනට මෙම වාහන සන්තකයේ තබාගෙන සිටින අය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කරමින් අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස අල්ලස් කොමිසම වෙත කරන පැමිණිල්ල මගින් විශේෂයෙන් ඉල්ලා සිටිනු ඇත.
මීට සමගාමීව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඇමැති වරුන් ඇතුළු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විපක්ෂ නායකවරයා, කථානායකවරයා, විගණකාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ලිඛිතව දැනුම්දීමේ කටයුතුවල නිරත වෙමින් සිටී.
සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරනු ලබන සහනදායී තීරුබදු බලපත්‍ර යටතේ BMW වාහන 1,728ක් ආනයනය කර තිබුණ ද ඇත්ත වශයෙන්ම එම වාහන බලපත්‍රලාභීන් විසින් ගෙන්වා නොතිබීම මෙම නඩුවට අදාළ වේ.
මීට පෙර, රේගුව විසින් මෙම කරුණ නොසළකා හරිමින් හෝ යටපත් කර ඇති බවට චෝදනා එල්ල වූ අතර එමගින් රු. බිලියන 16ක තීරු බදු වංචාවකින් රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල පාඩුවක් සිදුව තිබේ.
අපක්ෂපාතී පරීක්ෂණයක වැදගත්කම අවධාරණය කරමින් විනිවිදභාවය සම්බන්ධ ගැටලු ද මෙම කාරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මතු කර ඇත.
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර පවසන්නේ පසුගිය මැයි මාසයේ නිකුත් කරන ලද අභියාචනාධිකරණ නියෝගයකට අනුව රේගුව විසින් නව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත්, සිවිල් සංවිධාන එකමුතුවේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල් පීබීඑස්සී නෝනිස් පවසා ඇත්තේ, අදාළ තීරුබදු වංචාවට සම්බන්ධ පෞද්ගලික සමාගම හේතු කිසිවක් සඳහන් කර නොමැතිව මැයි 27 වැනි දින පැවති විමර්ශනයට සහභාගී නොවීම නිසා නොපැමිණීමත්, එම නිසා විමර්ශනය ජුනි 25 දිනට කල් තැබූ බවයි.
ප්‍රශ්නගත BMW වාහනවලට අදාළ මුල් ඉන්වොයිසිවල සහතික පිටපත් ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් එම ඉල්ලීමට රේගුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පසුගිය මාසයේදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් කොළඹ රේගු මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ අතර එහිදී ඔවුන් රේගු අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් භාර දුන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙසයි.
කඩිනම් පියවරක් ගැනීමට අපොහොසත් වීම දැඩි විරෝධයකට තුඩු දෙන බවට ද ක්‍රියාකාරීන් එහිදී අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart