August 8, 2025

සුප්‍රීම්සැට් ආයතනයෙන් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිවරිය පෙර දින ලබාදුන් පිළිතුර සැකසීමේදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතින් වරදක් සිදුව ඇති බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ප්‍රකාශ කළේය.

එම වැරැද්ද නිවැරදි කර එම චන්ද්‍රිකාවට වූයේ කුමක් ද? ඊට මුදල් යෙදවූවේ කවුද? ඇතුළු සියලු තොරතුරු අනාවරණය කරගැනීමට පරීක්ෂණ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවැති ආර්ථික තත්ත්වය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“අගමැතිතුමියගෙන් සුප්‍රීම් සමාගම ගැන ප්‍රශ්නයක් අහලා තිබුණා. චිචී යවපු රොකට් එකත් මේක ඇතුළට ගෙනාවා. ඒ රොකට් එක පාට කරපු අය තමයි ඒ කතාව ඇහුවේ. මේ ගැන අගමැතිතුමිය වෙත එවා තිබුණු පිළිතුරේ, විස්තර අරගෙන ඊයේ ඉඳන් කියනවා මේ රොකට් එක ඩොලර් බිලියන එකහමාරක් හොයලා කියලා කතාවක්.

අගමැතිතුමිය පිළිතුර දෙනකොටම කිව්වා මට BOI එකෙන් එවලා තිබෙන තොරතුරුයි මේ කියන්නේ කියලා. ඒ නිසා මේ තොරතුරු හදද්දී වරදක් වෙලා තිබෙනවා. ඒ වැරැද්ද දැනගෙන හරි නොදැන හරි කරපු එකක්.

මේ සුප්‍රීම්සැට් ගැන මතු කරපු එක බොහොම හොඳයි. මොකද මේක යට යන්න තිබුණු කාරණයක්. ඒක දැන් එළියට එනවා. මේ සුප්‍රීම්සැට් ආයතනය 2013-2014 කාලයේදී මිලියන 12,104ක් ආයෝජනය කර තිබෙනවා කියලා කියනවා. එහි ආදායම ගැනත් අහලා තිබෙනවා. මේ කියන සුප්‍රීම්සැට් කියන සමාගමක් තිබෙනවා. එය සමාගම් මැඳුරේ ලියාපදිංචි වෙලා තිබෙනවා. එහි අධ්‍යක්ෂවරුන් තාත්තයි පුතයි.

දැන් සිටින්නේ, මේ සමාගමට තවත් රූපවාහිනි නාළිකාවක් තිබෙනවා ග්ලෝබල් හෝල්ඩින් කියලා. එහි ආදායම තමයි අගමැතිතුමියට දීලා තිබෙන්නේ. මිලියන 19.617ක්. අගමැතිතුමියට පිළිතුර දුන් අය මේක හරියට හදලා දීලා තිබුණේ නෑ. එහි ආදායම මිලියන 342ක් ලෙස තමයි දක්වලා තිබුණේ. ඒ නිසා ඔය යූ ටියුබ්වල, ෆේස්බුක්වල මේ ගැන දාලා තිබුණු ඒවා අද නිවැරදි කරන්න වෙනවා.

දැන් මම බැලුවා ඒ යවපු සුප්‍රීම්සැට් එක කෝ කියලා, චීනයේ ඇරෝ ස්පේස් ආයතනය තමයි මේ සැටලයිට් එක (චන්ද්‍රිකාව) යවලා තියෙන්නේ එහි විස්තර තිබෙනවා අන්තර්ජාලයේ. මේ සුප්‍රීම්සැට් ආයතනය ලංකාවේ BOI එකත් එක්ක ගිවිසුම ගහලා තියෙන්නේ 2012 මැයි මාසයේ, හැබැයි සැටලයිට් එකක් යැව්වා කියන්නේ 2012 නොවැම්බර් මාසයේ. අර කිව්වානේ යවපු සැටලයිට් එක හොයාගන්න බෑ කියලා, ඒ කතාව හරි.

මොකද ඒකට තිබෙනවා ඩොලර් මිලියන 320ක වියදමක්. ඒකට මුදල් දුන්නේ කවුද කියලා තමයි දැන් හොයන්නේ. මේ ගැන හොයන විට හමුවෙනවා මෙය ලීස් බේස් සැටලයිට් එකක් කියලා. 2013 – 2014 ගිණුම්වල තියෙනවා මිලියන 11,000ක් තියෙනවා කියලා වත්කමක් ලෙස. හැබැයි අරුමය කියන්නේ 2014-2015 ගිණුම්වල මෙහෙම එකක් නෑ. ඒ කියන්නේ සැටලයිට් එක ගිය තැන හොයාගන්න නැතුව තමයි. ගිණුම්වලින් ඉවත් කරන්න ඇති. සැටලයිට් එක ගිණුම්වලින්ම ඉවත් කරලා.

එහෙනම් BOI එක අහන්න ඕනානේ සැටලයිට් එක කෝ කියලා, ඒ ගිණුම් බලපුවහම මේ සමාගම යන එනමං නැති වෙලා කියලා පෙනෙන්න තිබෙනවා. යවපු සැටලයිට් එක ගියපු තැනක් හොයාගන්න නෑ. යවපු එවුනුත් හොයාගන්න නෑ. මේ ගැන චිචී සාක්ෂි දීලා තිබෙනවා. මම මේක දන්නේ නෑ. මම කළේ දේශපාලන වැඩක් කියලා චිචී කියනවා.

මිලියන 12,000ක් ආයෝජනය කළා කියලා කියනවා. චීන බැංකු දෙකක් ණය දුන්නා කියලා කියනවා. මේ කතාව පිටුපස තව මරු කතාවකුත් තිබෙනවා. අපිට සැටලයිට් එකක් ස්පේස් එකට යවන්න අයිතිය තිබෙනවා. අන්න ඒ අයිතිය තමයි 2012දී භාවිතා කරලා තිබෙන්නේ. ඒකට තමයි සමාගමක් ගෙනත් ලියාපදිංචි කරලා තිබෙන්නේ. එහෙනම් ඒ සැටලයිට් එක කෝ? සමාගම කරපු ආයෝජනය කෝ? ඒ නිසා දැන් පරීක්ෂණය කරන්න පුළුවන්. අපි දැන් විපක්ෂයට සැටලයිට් එක හොයාගන්න පාර පෙන්වනවා. ඒකට විපක්ෂයෙන් දෙන්නෙක් විතර යවන්න වෙනවා. මේ සමාගම 2022න් පසුව බීඕඅයි එකට ගිණුම් ලබාදීලාත් නෑ.

එහෙනම් මේකට ආයෝජනය කළේ කවුද ඒ මිලියන 12,000 ඉවත් වුණේ කොහෙම ද ඒ සමාගමේ ආදායම කොහොම ද? ඒ සමාගම දැන් පාඩු පිට දුවන්නේ. එහෙම දුවන සමාගමක් අගමැතිතුමියට පිළිතුරු ලබා දෙන්න උත්තරේ දුන්නේ කොහොමද? මොකද මේ ආයතන හරියට පිළිතුරු දෙන්න ඕනෑ. අගමැතිතුමිය නම් උත්තර දෙන්නේ ඒක හරියට බලලා තහවුරු කරලා කියන්න ඕනෑ

ඒ නිසා පිළිතුරු ලබා දීමේදී නිලධාරීන් විසින් වැරැද්දක් කරලා තිබෙනවා. ඒ වැරුද්ද නිවැරදි කරන්න ඕනෑ. අවුරුදු අටකටම රුපියල් මිලියන 342යි ඒ සමාගමට තිබෙන්නේ. පළමු අවුරුද්දේ යවපු සැටලයිට් එකක් තිබෙනවා. හැබැයි දෙවැනි අවුරුද්දේ නෑ. වත්කම් වගකීම් අතහැරලා. ඒ නිසා අගමැතිනියගේ ප්‍රකාශයෙන් ප්‍රයෝජනයක් ගන්න හැදුවා නම් ඒක සොරි. ඒ වැරැද්ද අපි නිවැරදි කරන්න අවස්ථාව දුන්නා. අපි ඒ සැටලයිට් එක ගියේ කොහේද? ඒකට මුදල් දුන්නේ කවුද කියලාත් හොයලා ඒවාට අදාළ පියවරත් ගන්නවා.