August 1, 2025

2026 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස තෝරාගත් ප්‍රධාන පුහුණුකරුවන් 7,500ක් පමණ සඳහා මෙම මස මුලදී පුහුණුවආරම්භ කරන බවත්, ඔවුන් රට පුරා ගුරුවරුන් පුහුණු කරනු ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තෝරාගත් කණ්ඩායමට සියලුම දිස්ත්‍රික්කවලින් පළපුරුදු ගුරුවරුන් සහ ඉගැන්වීමේ උපදේශකයන් ඇතුළත්වේ.

අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසුවේ මූලික පුහුණුව ජාතික අධ්‍යාපන ආයතනයේ සිදු කෙරෙන බවයි.

“මෙම ප්‍රධාන පුහුණුකරුවන් අපි සූදානම් කරන පළමු කණ්ඩායමයි. ඔවුන් පුහුණුව අවසන් කළ පසු, කලාප මට්ටමින් ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කරනවා. එය පියවරෙන් පියවර යන ක්‍රියාවලියක්. දැන් අවධානය යොමු වී තියෙන්නේ මෙම පළමු කණ්ඩායම සූදානම් කිරීම ගැනයි. එතැන් සිටසියලුම ගුරුවරුන්ට පුහුණුව ව්‍යාප්ත කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.

අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා මෙම සතියේ පැවැත්වෙන බවත්, අමාත්‍යාංශය දැනටමත් ඔවුන් සමඟ සාකච්ඡා කර ඇති බවත්, පුහුණුව ආරම්භ වන විට සංවාදය අඛණ්ඩව කරගෙන යන බවත් ඔහු පැවසීය.

“ගුරු පුහුණුව මෙම උත්සාහයේ වැදගත්ම කොටසයි. නමුත්, මෙය ආරම්භය පමණයි. මෙම සැසිවලින් පුහුණුව අවසන් වෙන්නේ නැහැ. එය අඛණ්ඩ ක්‍රියාවලියක්. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අපි නිරීක්ෂණය කරනවා. මඟදී පැන නගින ඕනෑම ගැටළුවක් විසඳීමට කටයුතු කරනවා.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

ප්‍රතිසංස්කරණ සඳහා ගුරුවරුන් සූදානම් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි සැලැස්මක් නොමැති බවට ලංකා ගුරු සංගමය එල්ල කළ විවේචනවලින් පසු අමාත්‍යාංශය මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මීට පෙර පැවසුවේ ලබන වසරේ සිට රජය එක සිට හය ශ්‍රේණි දක්වා ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කර ඇතත්, එම වෙනසට සහාය වීම සඳහා ගුරුවරුන්ට තවමත් කිසිදු විධිමත් පුහුණුවක් ලැබී නොමැති බවයි.

මූලික ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් ගණන හත දක්වා අඩු කරන බව අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

සිසුන්ට ගණිතය, ඉංග්‍රීසි, මව් භාෂාව (සිංහල/දෙමළ), ආගම සහ විද්‍යාව යන මූලික විෂයයන් පහක් හැදෑරීමට අවශ්‍ය වන අතර තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය සහ ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, සහ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය වැනි විකල්පවලින් අමතර විෂයයන් දෙකක් තෝරා ගැනීමට හැකි වේ.

දිනකට ඉගැන්වීමේ කාල පරිච්ඡේද ගණන හත දක්වා අඩු කෙරෙන අතර, එක් එක් කාල පරිච්ඡේදයක වේලාව විනාඩි 50ක් වනු ඇත.