August 1, 2025

සොතෙබි වෙන්දේසිකරුවන් විසින් හොංකොං හි සිදුකිරීමට නියමිතව තිබූ වෙන්දේසි කිරීම නතරකර මාස දෙකකට පසු බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ ඉපැරණි මැණික් නැවත ගෙන්වා ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.

X සමාජ ගිණුමේ සටහනක් තබමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ, වසර 127 කට පසු පිප්‍රාවා මැණික් නැවත ලබාගැනීම ඉන්දියාවේ සංස්කෘතික උරුමයට ප්‍රීතිමත් දිනයක් බවයි.

සංස්කෘතික උරුම නීති උල්ලංඝනය කිරීම සඳහා ඉන්දියානු සහ හොංකොං උසාවිවල සහ අන්තර්ජාතික ආයතන හරහා වෙන්දේසි කරන ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය තර්ජනය කිරීමෙන් පසුව, එම වෙන්දේසිකරුවන් ඉකුත් මැයි මාසයේ සිදුකිරීමට නියමිතව තිබූ මැණික් වෙන්දේසිය කල්දැමීමට කටයුතු කර තිබිණි.

අනතුරුව මැණික් මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය සහ Godrej Industries Group අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා කටයුතු කර තිබේ.

එලෙස ලබාගත් මෙම වටිනා පුරාවස්තු විශේෂ උත්සවයකදී විධිමත් ලෙස නිරාවරණය කර මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් සොතෙබි වෙන්දේසිකරුවන් පැවසුවේ, පෞරාණික මැණික් තොගය ඉන්දියාවට නැවත ලබාදීමට පහසුකම් සැලසීම සතුටට කරුණක් බවයි.

එම මැණික් තොගය සඳහා හොඳම භාරකරු හඳුනාගැනීම වෙනුවෙන් පසුගිය මාස දෙකක කාලය තුළ දැරූ පරිශ්‍රමයේ සාර්ථක අවස්ථාව බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.