July 25, 2025

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝගේ නායකත්වයෙන් යුත් මෙහෙයුම් කණ්ඩායම 2025 ජූලි 21 සිට 25 දක්වා කොළඹ සිදු කළ සංචාරය අවසන් කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ සහාය ලබන, මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන් තක්සේරු කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා ඔවුන් මෙම සංචාරය සිදුකර තිබිණි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දරන බවත්, ආර්ථික වර්ධනය අපේක්ෂාවන් ඉක්මවා යෑම, උද්ධමනය ඉලක්කය කරා ගමන් කිරීම, බාහිර සංචිත සමුච්චය වීම සහ මූල්‍ය ආදායම් වැඩිදියුණු වන බවත් පෙනෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කණ්ඩායම සිය සංචාරය අවසානයේ නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් කළේය.

ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, ප්‍රකෘතිමත් වීම තහවුරු කිරීම සහ ශ්‍රී ලංකාවේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා, විශේෂයෙන් අඛණ්ඩ වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ ඉහළ යන භූ දේශපාලනික ආතතීන්, පවතින සන්දර්භය තුළ ඉතා වැදගත් බව ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ප්‍රධාන කැපවීම් සපුරාලීමේ ප්‍රගතිය, ඉදිරියේදී පැවැත්වෙන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වැනි සමාලෝචනයේදී විධිමත් ලෙස තක්සේරු කෙරේ.

සමාලෝචනයේ කාලය රජය සමඟ සාකච්ඡා කරනු ඇති බව ද එහි සඳහන් වේ.

මීට අමතරව, ශ්‍රී ලංකාව 2026 අයවැය සකස් කරන විට, සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම සඳහා තීරණාත්මක ආදායම් වැඩි දියුණු කිරීමේ පියවර සඳහා වන අවශ්‍යතාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල දැඩි ලෙස අවධාරණය කර ඇත.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක මධ්‍ය කාලීන ප්‍රාථමික ශේෂ ඉලක්කය සපුරා ගැනීම අත්‍යවශ්‍ය බව එම අරමුදල අවධාරණය කළේය.

“වියදම් හිඟ මුදල් නැවත මතුවීම වළක්වා ගැනීම ඇතුළුව බදු නිදහස් කිරීමේ රාමු ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම වැදගත් වේ,” යනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කළේය.