July 17, 2025

ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන් වේපින් භාවිතයට යොමුවීමේ වේගයේ විශාල අඩුවීමක් වාර්තා වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

ඒ ඉවත දැමිය හැකි වේපින් සඳහා රජය විසින් පැනවූ තහනම බලාත්මක වී වසරකට පසුවය.

ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලය සිදුකර ඇති අධයනයක් වන Generation Vape හි නවතම යාවත්කාලීනයට අනුව, වයස අවුරුදු 14 සිට 17 දක්වා ළමුන් අතර වේපින් භාවිත අනුපාතය මෙම වසරේ අප්‍රේල් මාසයේදී 14.6% දක්වා පහත වැටී ඇත.

එම අගය 2023 වසරේ ආරම්භයේදී පැවතුනේ 17.5% ක් ලෙසය.

වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයන්ගේ වේපින් භාවිත කෙරෙන ප්‍රමාණය ද තුනෙන් එකකට වඩා අඩු වී ඇති බව සමීක්ෂණයෙන් හෙළිව ඇත.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ තරුණ ඕස්ට්‍රේලියානුවන් වේපින් සඳහා යොමුවීම මේ වනවිට සැලකිය යුතු පරිදි පහළ වැටී ඇති බවයි.

එමෙන්ම පසුගිය වසර තුළ බලධාරීන් විසින් නීතිවිරෝධී ඊ සිගරට් මිලියන 10 කට වඩා අත්අඩංගුවට ඇති බව ද ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියානු රජය ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන දැනුවත්කිරීම් සහ ලබා දෙන අධ්‍යාපනය සහ වැළැක්වීමේ ව්‍යාපාර ඕස්ට්‍රේලියානු වැසියන් වේපින් සහ දුම්පානය කිරීමෙන් වළක්වාලීමට සහාය වී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඕස්ට්‍රේලියාවේ වේපින් භාවිතය, ආනයනය කිරීම, ප්‍රචාරණය කිරීම සහ සැපයීම නැවැත්වීම සඳහා වන නව නීති 2024 ජූලි මාසයේදී හඳුන්වාදෙන ලදී.

කෙසේවෙතත්, වසර ගණනාවක් තිස්සේ ඊ සිගරට් සඳහා නිර්මාණය වූ කළු වෙළඳපොළක් රට තුළ වර්ධනය වෙමින් පවතී.

බ්‍රිතාන්‍යය ද මෙම වසරේ ජුනි මාසයේ සිට වරක් භාවිත කර ඉවත දැමිය හැකි වේපින් අලෙවිය තහනම් කර තිබිණි.

හානිකර දුම්කොළ අඩංගු නොවන නිසා සාමාන්‍ය සිගරට් වලට වඩා වේපින් ආරක්ෂිත යැයි සැළකේ.

එහෙත් සෞඛ්‍ය විශේෂඥයන් උපදෙස් දෙන්නේ ඒවා අවදානම් රහිත වුව ද භාවිත කිරීමෙන් අත්වන දිගුකාලීන ප්‍රතිවිපාක තවමත් පැහැදිලි නොමැති බවයි.