July 17, 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණුව ලබන විශේෂඥ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණය හමුවේ තවත් ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා කළ ඉල්ලීමක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඉදිරියේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු මෙම ඉල්ලීම සිදුකර ඇත.

සැකකරුගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.සී.දයානන්ද මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ සැකකරු අධිකරණය යොදාගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් වින්දිත වෛද්‍යවරිය අපකීර්තියට හා පීඩාවට පත්කිරීමට සිතාමතා උත්සාහ කරන බවයි.

සැකකරු හිතාමතාම වෛද්‍යව‍රියට චිත්තවේගීය හානියක් සිදුකිරීම සඳහා ජනමාධ්‍ය හරහා මෙම අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමට උත්සාහ කරමින් සිටි බව ද පොලිසිය එහිදී අධිකරණයට පවසා තිබේ.

මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේදී තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට විවෘත අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශයක් කළ බව පොලිසිය පවසයි.

අධිකරණයේ කාලය නාස්ති කරන සහ අයහපත් චේතනාවෙන් සිදුකරන මෙවැනි ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශවලට ඉඩ ලබානොදෙන ලෙස අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෛද්‍යවරියගෙන් පැහැරගෙන ගොස් සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගත් ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය පොලිසියට නියෝග කර ඇත.

සැකකරු ජුලි 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.