July 13, 2025

ඇනහිට ඇති මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ දේශීය වශෙයන් පවතින හිඟ මුදල් පියවීම සඳහා 2026 ජාතික අයවැය මඟින් ප්‍රමුඛතාව ලබා දීමට නියමිතව තිබේ.

පොදු ප්‍රවාහනය සහ සෞඛ්‍ය සේවා හැර රාජ්‍ය ආයතන වෙනුවෙන් නව වාහන සඳහා දැනට පවතින අත්හිටුවීම අඛණ්ඩව පවතිනු ඇති බව භාණ්ඩාගාරය පවසයි.

විදේශ පුහුණුව සහ පොදු ප්‍රවාහනය සඳහා අරමුදල් අත්හිටුවීම ලබන වසර දක්වා පවතින බව භාණ්ඩාගාර ලේඛනයක සඳහන් වේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අතරට මෙම කරුණු ඇතුළත් වේ.

ඒ අනුව, දේශීය වශයෙන් පවතින හිඟ මුදල් පියවීම සහ පෞද්ගලික අංශයේ වර්ධනය ඉලක්ක කරගත් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ආදියට ප්‍රමුඛතාව දිය යුතු බව ලේඛනයේ සඳහන් වේ.

රජයේ ප්‍රතිසංස්කරණ සහ මහජනතාව විසින් විඳදරාගත් දුෂ්කර කැපකිරීම් හේතුවෙන් රටේ ආර්ථිකය මූල්‍ය ස්ථාවරත්වයේ තිරසාර මාවතකට පිවිස ඇති බව එහි සඳහන් විය.

කෙසේවෙතත්, තවදුරටත් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ මූල්‍ය විනය පවත්වා ගැනීම තීරණාත්මක බව ද මහා භාණ්ඩාගාරය සඳහන් කරයි.

භාණ්ඩාගාරයට අනුව, ලබන වසර සඳහා ප්‍රාථමික වියදම් සීමාව රුපියල් බිලියන 4,385.4ක් ලෙස සකසා ඇත.

කලින් පනවා තිබූ රාජ්‍ය අංශයේ වාහන මිලදී ගැනීම් අත්හිටුවීම තවදුරටත් ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත්, සෞඛ්‍ය සේවා සැපයීම, පොදු ප්‍රවාහනය, උපයෝගිතා සහ අනෙකුත් මගී නොවන ප්‍රවාහන අරමුණු සඳහා වන වාහන මිලදී ගැනීම එක් එක් සිද්ධිය අනුව සළකා බලනු ලැබේ.

ඕනෑම නව ව්‍යාපෘතියක් රාජ්‍ය ආයෝජන වැඩසටහනෙන් (PIP) සිදු කළ යුතු අතර එය රාජ්‍ය ආයෝජන කමිටුවේ නිර්දේශ මත පදනම් විය යුතුය.

ව්‍යාපෘති තෝරා ගැනීම පිළිබඳ අවසාන තීරණය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගනු ලැබේ.

ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු ධාරිතා සංවර්ධනය සඳහා වන විදේශීය පුහුණුව තාවකාලිකව නතර කිරීම ද නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවතින බව ලේඛනයේ වැඩිදුරටත් සඳහන් විය.

ඇතැම් රාජ්‍ය ආයතනවල ව්‍යවස්ථාපිත අරමුදල් ඒවා ස්ථාපිත කරන ලද අරමුණු සඳහා භාවිත නොකර නිෂ්ක්‍රීය තැන්පතු ලෙස පවත්වාගෙන යන බව සඳහන් කරමින් භාණ්ඩාගාරය පැවසුවේ එවැනි පිළිවෙත් නතර කළ යුතු බවත් අදාළ අරමුදල්වල අරමුණු සහ නෛතික විධානයන්ට අනුකූල වන සංවර්ධන-නැඹුරු ව්‍යාපෘති සඳහා යෝජනා සකස් කළ යුතු බවත්ය.

සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස ඇතුළත් ඒකාබද්ධ ගම්මාන සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති බැවින්, ගම් මට්ටමින් සංවර්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා ඇති ‘ප්‍රජාශක්ති’ ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කිරීමට අමාත්‍යාංශ දිරිමත් කරනු ලැබේ.

රාජ්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන සියලුම අයවැය ඇස්තමේන්තු ජූලි 31 වැනි දිනට පෙර භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතුය.