July 11, 2025

ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාව අමතමිනි.

එදින පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, අනතුරුව ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරතවිය.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමටද එක් වූ ජනාධිතිවරයා හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද සහභාගී විය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, රටක් ඉදිරියට ගෙනයා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත බවයි. ලොව දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක්ම එම දියුණුව අපේක්ෂා කරන්නේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරගනිමින් සහ ඒ මත පා තබාගෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස අපද සංවර්ධන මාවත තෝරාගත යුතු වන්නේ ඓතිහාසික උරුමයන් මත පාතබා ගනිමින් බව සඳහන් කළේය.

සමාජය සංස්කෘතික සමාජයක් බවට පරිවර්තනය කිරීමට බුදු දහම ඉවහල් වූ බවත්, භෞතික සම්පත් සර්වසම්පූර්ණ කර ගැනීමට වෙහෙසෙන සමාජයෙහි දියව යන සමාජ වටිනාකම් සහ ගුණාංග නැවත ඔප් නැංවීම සඳහා මෙවැනි සංස්කෘතික මංගල්‍යයන් වටිනා අවස්ථා නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වසර 2186ක් පුරා පරම්පරා සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම රුහුණු කතරගම පෙරහර මංගල්‍යය පවත්වා තිබෙන බවත්, අඛණ්ඩව මෙම පෙරහර පැවැත්වීමට හැකි වූයේ මෙම සංස්කෘතික මංගල්‍යය සහ ජන ජීවිතය අතර තිබෙන සබඳතාව නිසා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙවර පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට දායක වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුදෙනා වෙත ස්තූතිය පළ කළේය.(PMD)