July 10, 2025

ශ්‍රී ලංකාවේ සෑම වසරකම නව පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා පාලන වැඩසටහන අනාවරණ කළේය.

මාධ්‍ය හමුවකදී එම වැඩසටහනේ උපදේශක වෛද්‍ය සුරාජ් නිමල්සිරි පෙරේරා පැවසුවේ 2021 දී නව පිළිකා රෝගීන් 37,753ක් වාර්තා වී ඇති බවත්, දිනකට අවම වශයෙන් රෝගීන් 103ක් අනාවරණය වී ඇති බවත්ය.

වෛද්‍ය පෙරේරාට අනුව, මුඛ පිළිකා පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගය වන අතර, පසුව පෙනහළු පිළිකා, මහා අන්ත්‍ර පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා පිළිවෙළින් බහුලව වාර්තා වන පිළිකා වේ.

කාන්තාවන් අතර, පියයුරු පිළිකා වඩාත් ඉහළ අගයක්ගන්නා අතර, පසුව තයිරොයිඩ් පිළිකා, මහා අන්ත්‍ර පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සහ ගැබ්ගෙල පිළිකා සෙසු බහුල පිළිකා අතර වේ.

වාර්ෂිකව නව පියයුරු පිළිකා රෝගීන් 5,500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්, මහා අන්ත්‍ර පිළිකා මෙරට පිරිමින්ට සහ කාන්තාවන්ට බලපාන ප්‍රමුඛතම පිළිකාවක් බවට පත්ව ඇත.

ආහාර ගැටළු සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු මීට හේතුවන අතර දේශීයව සහ ගෝලීය වශයෙන් මහා අන්ත්‍ර පිළිකා රෝගීන්ගේ සැළකිව යුතු වැඩිවීමක් පිළිබඳ වෛද්‍ය පෙරේරා අනතුරු ඇඟවීය.

“අපේ රටේ ගැටළු සහගත ආහාර රටාවන් මහා අන්ත්‍ර පිළිකා වැඩිවීමට බොහෝ දුරට හේතු වී තිබෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.