July 9, 2025

සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පිරිමි ළමයකු හැටන් සිංගිමලේ ජලාශයට වැටී අතුරුදන් වී ඇති අතර, ඔහු දියේ ගිලී මියගොස් ඇතැයි සැකකෙරෙන බව පොලිසිය පවසයි.

අතුරුදහන් වූ පිරිමි ළමයා 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.

ඔහුගේ මිතුරන් හයදෙනෙකු ඡායාරූප ගැනීම සඳහා ජලාශයට ඉහළින් ඇති සිංගිමලේ රක්ෂිතයට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

ජලාශයේ මායිම දිගේ ඇවිද යමින් සිටියදී ඔහු පහළට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් අතුරුදහන් වූ සිසුවා තවමත් සොයාගෙන නොමැත.

සිසුවා සොයාගැනීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයෙන් සහ නාවික හමුදාවේ කිමිදුම් අංශයෙන් සහාය ඉල්ලා ඇති බව හැටන් පොලිසියේ ප්‍රකාශකයකු පවසා ඇත.

මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ අතුරුදහන් වූ සිසුවාගේ මාපියන් විදේශගතව සිටින බවයි.

ඔහු පාසල් යෑමට හැටන් හි නේවාසිකාගාරයක නැවතී සිට ඇත.

හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.