June 30, 2025

රිටිගල වන රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී වනාන්තරයේ අතරමං වීමෙන් පසු බේරාගනු ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රිටිගල වනජීවී අභයභූමි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී නිලධාරීන්ට අනුව, සැකකරුවන් දෙදෙනාම 35 වැනි වියේ පසුවෙති.

දෙදෙනාගෙන් එක් අයෙකු තමන් ඍෂි කෙනෙකු බව කියා ගන්නා අතර ඔහු අනුරාධපුර රාජාංගනයේ පදිංචිකරුවෙකි.

දැනට ගම්පහ පදිංචිව සිටින ඔහුගේ සහායකයා යැයි කියනු ලබන පුද්ගලයා මාතලේ ලග්ගල පදිංචිකරුවෙකි.

මොවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස රක්ෂිතයට ඇතුළුව අතරමං වී ඇති බවට ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්න කිරීමේදී, භාවනා කිරීම සඳහා ‘නාග ලෝකයෙන්’ රිටිගලට පැමිණි දිව්‍ය ජීවීන් තමන් බව එම පුද්ගලයන් නිලධාරීන්ට පවසා තිබේ.

මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ මොවුන් දෙදෙනා පුරාවිද්‍යාත්මක නටබුන් තිබෙන දැඩි ස්වභාව රක්ෂිතයට ඇතුළු වී, ආරක්ෂිත කලාපයට ඇතුළුවීම තහනම් බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිකර ඇති අනතුරු ඇඟවීමේ පුවරු නොසලකා හැර කොඩිගල කන්දට නැග ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වනජීවී නිලධාරීන් සැකකරුවන් සතුව තිබී ලයිටරයක්, ඡායාරූප සහ වීඩියෝ කැමරාවක්, ඇඳුම් කැබලි කිහිපයක්, මාලයක් සහ උඩෑක්කියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇත.

රිටිගල වනජීවී අභයභූමි ආරක්ෂක කාර්යාලය තහවුරු කළේ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි.

දැඩි ස්වභාව රක්ෂිතවලට අවසරයකින් තොරව ඇතුළුවීම බරපතළ වරදක් බවත්, රටේ වනජීවී ආරක්ෂක නීති යටතේ දඬුවම් ලැබිය හැකි බවත් බලධාරීන් නැවත වරක් මහජනතාවට මතක් කරයි.