May 28, 2025

මහාමාර්ගයක ඉදිරිපස රෝදය ඔසවා තනි රෝදයකින් යතුරුපැදිය පැදවීමෙන් තම දක්ෂතාවය පෙන්වූ තරුණයකුට රු.55,000 ක දඩයක් නියම කර ඇති අතර, කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් ඔහුට දැඩි ලෙස තරවටුවක්ද සිදුකර ඇත.

මහජනතාවට අපහසුතාවක් ඇතිකිරීම, කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් තිබීම සහ අංක තහඩු හා පැති කණ්ණාඩි නිසි ලෙස සවිනොකර මහජනතාවගේ ජීවිත අනතුරේ හෙළීම ඇතුළු චෝදනා පහක් යටතේ පොලිසිය ඔහුට නඩු පවරා තිබිණි.

කුලියාපිටිය, කනඩුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා වන දසුන් ෂෙවන්ත චෝදනාවලට වරද පිළිගත්තේය.

කුලියාපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක අධිකරණයට පැවසුවේ, සැකකරු තම යතුරුපැදිය අනවසරයෙන් තනි රෝදයකින් ධාවනය කර මහජනතාවට කරදරයක් වන පරිදි විශාල ශබ්දයක් ඇති කළ බවයි.

මේ ආකාරයෙන් තනි රෝදයකින් ගමන් කිරීම පදිකයන්ගේ සහ ධාවකයාගේ ජීවිතවලටද අනතුරක් විය හැකි බව ඔහු පැවැසීය.

යතුරුපැදිය රෝද දෙකේ වාහනයක් බව ඔහු පෙන්වාදුන්නේය.

ඒ හා සමාන වැරදි සිදුකරන අනෙකුත් තරුණයන්ට පණිවිඩයක් වන දඬුවමක් නියම කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.