May 20, 2025

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ශ්‍රී ලංකා දේශපාලනඥයන්ට එල්ලවිය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවයි.

“මේ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් අපි ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. කොහොම වුණත් අපට තවමත් එම වාර්තාව ලැබී නැහැ” ඔහු පැවැසීය.

විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇති බව සොයාගෙන ඇති බව අමාත්‍ය විජේපාල තවදුරටත් පැවැසීය. “වාර්තාවක් ඉල්ලා තිබෙනවා. වාර්තාව ලැබුණු පසු, අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළිකළේ, ඒ සම්බන්ධයෙන් 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන් කරමිනි.

පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව ඔහු හෙළිකළේය.

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,” ඔහු පැවසීය.