May 8, 2025

කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් පළාත් පාලන ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම් බලා නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.

මෙයට ප්‍රධානම හේතුව වී තිබුණේ වර්තමානයේ පවතින දැරීමට අපහසු ප්‍රවාහන වියදමයි.

මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවක සේවිකාවෝ 33,000 ක් පමණ සේවයේ නිරත වී සිටින අතර ඒ අවට නගරවල පවතින කර්මාන්තශාලාවල ද මේ හා සමාන සේවක සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති.

මොවුන් මීට සති දෙකකට පෙර අලුත් අවුරුදු නිවාඩුවට තම ගම්බිම් වෙත ගොස් පැමිණ සිටීමත්, යළිත් ගමේ යෑමට සැලකිය යුතු මුදලක් වැය වීමත් ඔවුන්ට යළි වැටුප් ලැබෙන දිනය ලබන 10 වැනිදාට යෙදී තිබීමත් මේ සඳහා තදින් බලපා තිබේ.

ඒ නිසා මැතිවරණය පවත්වන දිනයේ මෙම සේවිකාවන්ට නිවාඩු ලැබී තිබුණ ද සිය ගම්බිම් බලා නොගොස් නේවාසිකාගාරවලම රැඳී සිටීමට තීරණය කර ඇති බව ඔවුන් සමග සිදු කළ සාකච්ඡාවලදී අනාවරණය විය.

එළඹෙන වෙසක් නිවාඩුවත් සමග මෙම මැතිවරණය යෙදී තිබුණා නම් එම නිවාඩුව භාවිත කරමින් තමන්ට ගම්බිම් බලා යෑමට ඉඩ තිබුණු බව බොහෝ සේවක සේවිකාවෝ කියාසිටියහ.(දිවයින)