May 5, 2025

ජනමතය යනු රටක්, සමාජයක් වෙනස් කළ හැකි ප්‍රබල සාධකයක් බැවින් සමාජ මාධ්‍ය යනු වර්තමානයේදී ජනමතයට විශාල බලපෑමක් එල්ල කරන සාධකයක් වී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කලණි ධර්මසිරි පවසයි.

ceylonwire යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව්මින් ඇය මෙම අදහස් පළකළාය.

එමෙන්ම එහිදී ඇය පෙන්වාදුන්නේ තොරතුරු මූලික වී ඇති සමාජයක මැතිවරණ ප්‍රතිපල සඳහා මෙන්ම ජනතාවගේ මැතිවරණ තීරණය සඳහා ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු දැඩි බලපෑමක් එල්ල කරන තත්වයක් දක්වා වර්තමානයේදී තොරතුරු විකාශනය පැමිණ ඇති බවයි.

මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ එලෙස දැඩි බලපෑමක් එල්ල කරන්නේ සෑම මැතිවරණයකදීම එක්වන නව ඡන්දදායකයන් සඳහා බව ද ඇය පෙන්වාදෙයි.

එමෙන්ම මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍ය නීති සංසදයේ ව්‍යාපෘති කළනමාකරු නීතීඥ දුල්මිණී ඒකනායක පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ වුවද පළවන දුස්තොරතුරු හෝ අසත්‍ය තොරතුරු නියාමනය කිරීම සඳහා හැකියාව පවතින බවයි.

එහිදී වැදගත් වන්නේ ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත්භාවය බව ද ඇය පැවසුවාය.

ඒ සඳහා පවතින නීති ලෙස, වර්තමානයේ දැඩි කතාබහකට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, පරිගණක අපරාධ පනත පෙන්වාදිය හැකි බවත්, එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ද මේ සඳහා ප්‍රතිපාදන පවතින බව ඇය පෙන්වාදුන්නාය.