May 5, 2025

මැතිවරණයකදී මහජන මතයට තොරතුරු විකෘති කිරීම් බලපාන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන තොරතුරු විකෘති කිරීම් මේ වනවිට සමාජය හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක් බවත් මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතීඥ විරංජන හේරත් පවසයි.

ceylonwire යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව්මින් ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ සමයක සිදුවන තොරතුරු විකෘතිතා එම මැතිවරණ ප්‍රතිපලයට පැහැදිලි බලපෑමක් ඇති කරන බවයි.

එමෙන්ම විශේෂඥයන් විසින් මෙම තොරතුරු විකෘතිතා කොටස් 03ක් යටතේ වර්ග කර තිබෙන බවත්, ඒ අනුව චේතනාන්විතව ප්‍රචාරය කරන දුස් තොරතුරු, වැරදි තොරතුරු සහ නොමඟ යැවීමට භාවිත කරන තොරතුරු එම මූලික කාණ්ඩ වන බවත් නීතීඥ විරංජන හේරත් පැහැදිළි කළේය.

ඔහු පෙන්වාදුන්නේ තොරතුරු විකෘතිතා රටක ප්‍රජාතන්ත්‍රවාදයට ද දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

මැතිවරණ සමයකදී එය ඉතාමත් තීරණාත්මක බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් සමාජයේ පුළුල් අවධානයක් යොමුවිය යුතු බවත්, සමාජය තුළ මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් නිර්මාණය විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

රට තුළ ජනමාධ්‍ය සාක්ෂරතාව පවතින්නේ ඉතා අඩු මට්ටමක බැවින්, ඒ ඔස්සේ සිදු කෙරෙන තොරතුරු විකෘති කිරීම්වල අනිසි ප්‍රතිපල හේතුවෙන් සමාජ සහ ආර්ථිකය වශයෙන් එල්ල වන බලපෑම ද ඉතා ඉහළ බව නීතීඥ විරන්ජන හේරත් පැවැසීය.

එබැවින් ඔහු පෙන්වාදෙන්නේ, ජනමාධ්‍ය සාක්ෂරතාව වර්ධනය සඳහා වගකිව යුතු සියලු පාර්ශව එක්විය යුතු බවයි.

එමෙන්ම මැතිවරණ කාලසීමාවක හෝ සාමාන්‍ය සමාජය තුළ දුස් තොරතුරු සමාජගත වීම වළක්වා ගැනීම සඳහා නීති පවතින නමුත්, ගැටලුව වන්නේ එම නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ ද යන්න බව ද ඔහු පැවසුවේය.