May 5, 2025

මදුරුවන්ගෙන් බෝවන රෝග සහ වෛරස් උණ ව්‍යාප්තිය ඉහළ යෑමක් වාර්තා වන බැවින් උණ රෝගය දින දෙකකට වඩා පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

පවතින තත්ත්වය සමබ්න්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අචලා බාලසූරිය පෙන්වාදෙන්නේ, නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ජනතාව නිවසේ සිට හිතුමතේ ප්‍රතිකාර ලබාගැනීමට උත්සාහ කිරීම අනතුරුදායක වියහැකි බවයි.

උණ රෝගය සාමාන්‍ය සරල වෛරස් උණක් පමණක් බව ඇතැමුන් සිතන නමුත්, ඩෙංගු හෝ චිකුන්ගුන්යා වැනි බරපතල රෝග ද එවැනි රෝග ලක්ෂණවලින් ආරම්භ විය හැකි බව ඇය පවසයි.

වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් තොරව ඇස්ප්‍රීන් හෝ වෙනත් වේදනා නාශක ඖෂධ ලබා නොගන්නා ලෙසත්, එවැනි ඖෂධ සෑමවිටම උණ සඳහා ආරක්ෂිත නොවිය හැකි බවත් ඇය පෙන්වාදෙයි.

දින දෙකකට වඩා වැඩි කාලයක් පවතින උණ තිබේ නම් සහ විශේෂයෙන් තෙහෙට්ටුව, සමේ කැක්කුම හෝ සන්ධි වේදනාව පවතින්නේ නම්, ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් සඳහා රෝහලකට හෝ සායනයකට යෑම වඩාත් සුදුසු බව ද වෛද්‍යවරිය ජනතාවට පවසයි.

තවද, මේ දිනවල චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය අචලා බාලසූරිය පවසයි.

ඇය පවසන්නේ, එම රෝගයේ පවතින ප්‍රධාන වෙනස වන්නේ, සුවය ලැබීමෙන් පසුව ද සන්ධි වේදනාව අවම වශයෙන් මාසයක්වත් පැවතීම බවයි.

එම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර හදිසියේ ඇතිවන අධික උණ, දරුණු සන්ධි වේදනාව, මාංශ පේශි කැක්කුම, හිසරදය, ඔක්කාරය, තෙහෙට්ටුව සහ සමේ මතුවන කැසීම වැනි දේ පෙන්වා දිය හැකිය.

බොහෝ රෝගීන් සතියක් ඇතුළත සුවය ලබන අතර, සමහර අවස්ථාවලදී, විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් අතර සන්ධි වේදනාව මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පැවතිය හැකිය.

එහෙත් එවැනි සමාන රෝග ලක්ෂණ ඇති සාමාන්‍ය වෛරස් උණ තත්වයන් ද මේ දිනවල පවතින බැවින් දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ වැදගත්කම ඇය යළිත් අවධාරණය කරයි.

මේ අතර, ඉකුත් ජනවාරි මාසයේ සිට මෙරටින් ඩෙංගු රෝගීන් 17,000 කට අධික සංඛ්‍යාවක් සහ චිකුන්ගුන්යා රෝගීන් 16,600 ක් වාර්තා වී තිබේ.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම දැඩි අවධානයට ලක්ව ඇති තත්වයකි.