April 23, 2025

නීතිවිරෝධී ලෙස ගිරවෙක් සහ සැළලිහිනියෙක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත මාතලේ මාබේරිය දිගනහේන ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගිරවෙක් සන්තකව සිටි සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.

අනතුරුව ගිරවා ගිරිතලේ පශුවෛද්‍ය රෝහලට භාර දී ඇති අතර මීළඟ නඩු විභාගය මැයි 22 වැනිදාට පැවැත්වීමට නියමිතය.

මේ අතර, සැළලිහිනියෙක් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවකු මාතලේ, සුදුගහවත්ත, කළුදේවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ද රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර මාතලේ මහේස්ත්‍රාත්වරයා විසින් පක්ෂියා ගිරිතලේ පශු වෛද්‍ය රෝහලට භාරදෙන ලෙස නියෝග කර ඇත.

මෙම නඩුවේ මීළඟ විභාගය සැප්තැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිතය.