April 7, 2025

බුද්ධි තොරතුරු මත නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදි ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ මත්කුඩු ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

විශ්වසනීය තොරතුරක් මත සිදුකළ මෙම වැටළීමේදී නාවික හමුදාව එම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එම යාත්‍රාව තුළ දළවශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 191 යි ග්‍රෑම් 752 ක් සහ ‘අයිස්’ ලෙස හඳුන්වන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 671 ක් සහ ග්‍රෑම් 452 ක් සඟවා තිබියදී සොයාගෙන තිබේ.

යාත්‍රාවේ සිටි සැකකරුවන් හත්දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව නාවික හමුදාව එම ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙනවිත් ඇති අතර එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ එම ධීවර යාත්‍රාව නිරීක්ෂණය කර තිබේ.

මෙහෙයුමට සම්බන්ධ වූ නාවික සෙබළුන්ගේ උත්සාහය ද ඔහු ඇගයීමට ලක්කතර ඇත.