March 25, 2025

නවහැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් නියම කෙරිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විඑම තීන්දුව ලබාදුන්නේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 75000/-ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළේය.

ඊට අමතරව විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර, එම වන්දි මුදල ගෙවීම පැහැරහරිනු ලැබූවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

මෙසේ දඬුවම් නියම වුණේ 59 හැවිරිදි වියේ පසුවන ජංගම එළවළු වෙළෙන්දකුටය.

මෙම විත්තිකරු විසින් 2011 වසරේ 09 වැනි වියේ පසුවූ පාසල් දැරියකට ටොපි චොක්ලට් ලබාදී හිතවත්කමක් ඇති කරගෙන ඇය රවටා මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා කියාසිටියේ මෙය ඉතා බරපතල සිද්ධියක් බවයි.

අතවරයට පත් දැරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ සාක්ෂි අතර ගැලපීමක් දක්නට තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ පෙන්වාදුන්නේය.

මෙවැනි සිද්ධීන් ශිෂ්ඨසම්පන්න සමාජයක් විසින් කිසිසේත්ම අනුමත නොකරන බව සඳහන් කළ විනිසුරුවරයා, එය මනූෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් සඳහන් කර සිටියේය.

පිළිකුල්සහගත මෙවැනි ක්‍රියාවන් පිළිබඳව සැහැල්ලුවෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.